Monday, May 6, 2024

General line - 0115112241

දඹුල්ලේ පරාජයේ රැල්ලෙන් බේරීමට ශ‍්‍රී ලංකාවට අදත් බැරිවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර /කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් කඩුලූ 05ක ජයක් අත්කර ගැනීමට සංචාරක දකුණු අපි‍්‍රකානු ක‍්‍රිකට් කණ්ඩායම අද (29) සමත් වුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34.3කදී සියලූ දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 81ක් සහ තිසර පෙරේරා ලකුණු 49ක් රැස් කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 07 දෙනෙකු ලකුණු 05කට අඩුවෙන් දවා ගැනීමට දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. පන්දු යැවීමේදී කගිසෝ රබාඩා සහ ටැබ්රයිස් ෂැම්සි අතරේ කඩුලූ 04 බැගින් බෙදී ගියා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකාව 31 වන පන්දුවාරයේදී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේ ලකුණු 196ක් රැස් කරමින්. එහිදී වේගවත් ඉණිමක් ක‍්‍රීඩා කළ ජේ පී ඩුමිනි පන්දු 32කදී නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා. ක්වින්ටන් ඞීකොක් සහ පෆ්ඩු ෆ්ලෙසිස් ලකුණු 47 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 50කට කඩුලූ 03ක් බිඳ හෙළුවා. තරගයේ වීරයා සම්මානය දකුණු අප‍්‍රිකාවේ ටැබ්රයිස් ෂැම්සිට හිමි වුණා. 

තරගය පැවැත්වුණේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. 

ශ‍්‍රී ලංකාව මෙම ක‍්‍රීඩාංගණයේදී අඛණ්ඩව පරාජයට පත්වූ 06 වන එක්දින තරගය මෙය වනවා.          

ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා දෙවන එක්දින ක‍්‍රිකට්  තරගය ලබන බදාදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.