Friday, May 3, 2024

General line - 0115112241

අභියාචනාධිකරණය හමුවේ ඥානසාර හිමි වරදකරු වෙයි - බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වෙයි

අධිකරණ වාර්තාකරු




බොදුබල සේනා මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද (08) තවත් නඩුවකින් සිර දඬුවම් නියම කෙරුණා.

උන්වහන්සේට මෙම නඩුව පවරා තිබුණේ 2016 වසරේ ජනවාරී මස 25 වැනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කලහකාරීව හැසිරෙමින් අධිකරණයට අපහාස කළ බවටයි. 

ඒ සම්බන්ධයෙන් චෝදනා 04කට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බව නඩුව විභාග කළ අභියාචනාධිකරණය අද තීන්දු කළා. ඒ වෙනුවෙන් උන්වහන්සේට වසර 06කදී එකවර ගෙවී යන පරිදි වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන බවයි අභියාචනාධිකරණය වැඩිදුරටත් පැවසුවේ.

මෙම තීන්දුව වහාම ක‍්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරුණා. 

කෙසේ වෙතත් අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටින බැවින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද අධිකරණයට පැමිණ සිටියේ නැහැ. උන්වහන්සේ ශල්‍යකර්මයකට ද භාජනය කිරීමට නියමිතව සිටින බවයි උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ. 

මේ අතර මාධ්‍යවේදී ප‍්‍රගිත් එක්නැලිගොඩගේ භාර්යාවට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මීට පෙර වරදකරු කෙරුණු අතර ඒ වෙනුවෙන් මාස 06කදී එකවර ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් උන්වහන්සේට නියම කෙරුණා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ අභියාචනයක් ගොනු කර ඇති අතර උන්වහන්සේ සිටින්නේ ඇප මත නිදහස ලබායි.