Friday, May 3, 2024

General line - 0115112241

"වෘත්තීය සමිති ත‍්‍රස්තවාදය පරාජය කිරීමට කාලය එළඹ ඇත" - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්




රටක් ලෙස එකතු වී බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කළ ආකාරයට වෘත්තීය සමිති ත‍්‍රස්තවාදය ද පරාජය කිරීමට කාලය එළඹ ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය මගින්  නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එහිදී අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී, අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ වෘත්තීය සමිති ත‍්‍රස්තවාදය මතවාදීව මෙන්ම ප‍්‍රායෝගික තලයේද පරාජය කළ යුතු බවයි.

දුම්රිය වෘත්තීය සමිති ඊයේ (08) පෙන්නුම් කළේ වෘත්තීය සමිති ත‍්‍රස්තවාදයක් බවත් එය තමන්ගේ වුවමනාවන් හැර අන් අයගේ සියලූ වුවමනා වැදගත් නැතැයි සිතන කුහක මානසිකත්වයක් බවයි එහි දැක්වුණේ. 

නිවෙස් බලා යන මගීන්ගේ සහ උසස් පෙළ දරු දැරියන්ගේ හිසට තුවක්කුව තබා සිය ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටීම කිසිඳු සදාචාරමය හෝ ආචාර්ය ධර්මික රාමුවකට අයත් නොවන බවද අමාත්‍යවරයා පවසනවා.

වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීම වෘත්තීය සමිතියක අවසන් උපාය මාර්ගය විය යුතුයි. එය කිසි ලෙසකවත් තමන් සතු පළමු ආයුධය ලෙස භාවිත නොකළ යුතු බවයි අමාත්‍ය සාගල රත්නායක පෙන්වා දෙන්නේ. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා රජයට ඇති කැපවීම දුර්වලකමක් සේ නොසැලකිය යුතු බව ඔහු අවධාරණය කරනවා. වෘත්තීය සමිති ත‍්‍රස්තවාදය පරාජය කර ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමට උපරිමයෙන් කැපවන බවයි අමාත්‍ය සාගල රත්නායක නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.