Friday, May 3, 2024

General line - 0115112241

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිතිවලින් පැහැදිළි කිරීමක්

තරංග රුක්ෂාන් ජයසේකර/ලහිරු කපුගේ




සිය ගැටළුව සඳහා මෙතෙක් සාකච්ඡාවක් ලැබී නොමැති බැවින් තවදුරටත් වර්ජනය ක‍්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් පැවසුවේ අද (09) දිනයේ මේ දක්වා කිසිදු දුම්රියක් කොළඹ කොටුව වෙත ළඟා වී හෝ කොළඹ කොටුවෙන් පිටත්වී හෝ නොමැති බවයි.

දිවයින පුරා දුම්රිය ස්ථානවල ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අයුරුද ද දැකගත හැකි වූ බව නෙත් නිවුස් වාර්තාකරුවන් ද ප‍්‍රකාශ කළා.

සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පැමිණි මගීන් බොහෝ දෙනෙකුට අද උදෑසන ද විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වුණා. ඒ, බස් රථ යොදවා තිබුණද ඒවා මගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන්. දෛනිකව දුම්රියෙන් ගමන්ගන්නා මගීන් මෙම වර්ජනය පිළිබඳ දැඩි කලකිරීමකට පත්ව සිටිනවා.

ඊයේ (08) පස්වරු 03.00 සිට මෙම වර්ජනයට එක්ව සිටින්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන් සහ නියාමකවරුන්. ඒ, අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින්. 

ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

උසස් පෙළ විභාග අයදුම්කරුවන්ගේ පහසුව සඳහා අද පස්වරුවේ යම් තීරණයක් ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළා. 

දුම්රිය වර්ජනය හේතුවෙන් විශ‍්‍රාම ගොස් සිටින දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවිමටයි ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. අද පෙරවරු 06.00 වනවිට සේවයට වාර්තා කරන ලෙස ඔවුන්ට ඊයේ (08) දැනුම් දීමක් කෙරුණා. එහෙත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ එවැනි කිසිවෙකුත් රාජකාරීවලට වාර්තා කර දුම්රිය ස්ථානවලට පැමිණ නොමැති බවයි.

එමෙන්ම දුම්රිය ස්ථානවල කිසිදු කටයුත්තක් මේ වනවිට සිදු නොවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය ද සඳහන් කළේ. මගී ජනතාවගේ පහසුව සඳහා අද පස්වරුවේ ද විශේෂ බස් රථ සේවා ක‍්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

අද උදෑසන ද එම බස් රථ සේවා ක‍්‍රියාත්මක වුණා.  අද දිනයේ ධාවන සැලසුම් පිළිබඳ පැහැදිලි කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි පෙන්වා දුන්නේ බස් රථ 500කට ආසන්න ප්‍රමාණයක් අතිරේකව යොදවා ගැනීමට හැකියාව ලැබෙයි යනුවෙනි. මෙම කාර්යය සඳහා රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බව පෙන්වා දුන්නා.

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතා වැළැක්වීම අරමුණු කර ගනිමින් අද උදෑසන ද විශේෂ බස් රථ සේවා යෙදවීමට යුද හමුදාව සහ නාවික හමුදාව කටයුතු යොදා තිබුණා.

ඒ සඳහා යොදවා තිබූ බස් රථ සංඛ්‍යාව 41ක්. ඉන් 33ක් යුද හමුදාව විසින් යොදවා තිබූ අතර බස් රථ 09ක් යොදවා ඇත්තේ නාවික හමුදාවයි. එම බස් රථ ගම්පහ, ගාල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල සහ මහව යන ගමනාන්තවල සිට අද උදෑසන යළි කොළඹට පැමිණියා.

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මගීන් අද උදෑසන ලංගම සහ පෞද්ගලික බස් රථවල සේවය වැඩි වශයෙන් ලබා ගන්නා අයුරුද දැකගත හැකි වුණා.