Monday, May 13, 2024

General line - 0115112241

දුරකථන ඇමතුම් දෙකක් ගැන CID හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කරයි

පසන් වික්‍රමතිලක




අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (17) පැය තුනකට අධික කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීයි. 

ඊට හේතුවී තිබුණේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදුන් බව කියන සිද්ධියයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරවරු 11.30 ට පමණ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණියා. නිලධාරීන් පස් දෙනෙකු ඒ සදහා පැමිණ සිටියා.

ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට කරු ජයසුරිය සහ අලහකෝන් දුරකථන ඇමතුම් ලබාදුන් බවත් ඉන් අනතුරුව කීත් නොයාර් නිදහස් වුන බවත් එය සතයක්ද යනුවෙන් තමන්ගෙන් විමසා සිටි බවයි. තමන්ට එසේ දුරකථන ඇමතුම් ලැබුනේද යන්න ගැන නිශ්චිත මතකයක් නැති බවත් එසේ නිදහස් වී යාම වරදක්ද කියා තමන් ඔවුන් ගෙන් විමසා සිටි බවයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ. මේ සියල්ලම රටේ පවතින ආණ්ඩුවේ දේශපාලන උවමනාවක් ඉටු කිරීමක් බවද මෙහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමාට චෝදනාවක් පවා නොමැති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ.

මෙම අවස්ථාවට එක්ව සිටි නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට ඒකාබද්ධ විපක්‍ෂයට සහාය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රැසක් ද පැමිණ සිටියා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක කියාසිටියේ මෙම ප‍්‍රශ්න කිරීමෙන් කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ කියාසිටියේ මෙම විමර්ශනය සාධාරණ අයුරින් සිදුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීමට එරෙහිව මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් ප‍්‍රාදේශීය සභාව තුළ අද විරෝධතාවක නිරත වුණා.