Thursday, January 16, 2025

General line - 0115112241

ඥාණසාර හිමිට පොදු සමාව දීමේ යෝජනාව කැබිනට් මේසයට එයි

දිල්ශාන් තුෂාර




සිරදඬුවමකට නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාවක් ලබාදිය හැකිදැයි මීළඟ කැබිනට් රැස්වීමේදී විමසා බලන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින්. 

ඥාණසාර හිමියන්ට නඩු රැසක් ඇති බැවින් ඒ සියල්ලනේම සමාව ලබා දීම යනාදී වශයෙන් ඇති කරුණු කෙරෙහි සොයා බලමින් ඇති බවත් සඳහන් කෙරුණා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මේ වනවිට නඩු දෙකකින් සිර දඬුවම් නියම වී තිබෙනවා. පළමු නඩුව මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙනුයි. එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06කදී එකවර ගෙවීයන පරිදි බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කෙරුණා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ අභියාචනයක් ගොනු කර ඇති අතර ඒ අනුව උන්වහන්සේ එම දඬුවමෙන් ඇප මත මුදා හැරුණා. 

අනෙක් නඩුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කලහකාරීව හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙනුයි. එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 06කදී එකවර ගෙවී යන පරිදි වසර 19ක බරපතල වැඩසහිත සිරදඬුවමක් නියම කෙරුණා. කෙසේවෙතත් මේවනවිට උන්වහන්සේ සිටින්නේ අසනීප තත්ත්වයෙන් රෝහල්ගතවයි.