යම්කිසි පිරිසක් විසින් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ වාහන ගාල් කරන ස්ථානයේ අලවා ඇති දැන්වීමක් නිසා වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය නොසන්සුන් භාවයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙම පෝස්ටරයෙන් දැක්වෙන්නේ ගාල්ල කරාපිටිය රෝහලේ එක් රථ ගාල් කරන ස්ථානයක් අගෝස්තු 27 වැනි දින සිට විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් සීමා කරන බවත් ඒ සඳහා එම විශේෂඥ වෛද්‍යවරුන් වෙනම පාස් පතක් ලබා ගත යුතු බවයි.
AFNS යන අන්වර්ථ නාමයකින් සඳහන් මෙම දැන්වීම මඟින් දන්වා ඇත්තේ අගෝස්තු මස 27 දින සිට උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ වාහන මෙම ස්ථානයේ ගාල් නොකරන ලෙසයි.
කෙසේ නමුත් ගාල්ල කරාපිටිය රෝහලේ කිසිදු කාර්ය මණ්ඩලයක් මෙම AFNS නැමැති සංවිධානයක් හෝ සමිතියක් පිළිබදව නොදන්නා බව එම කාර්ය මණ්ඩලය පවසනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ රෝහල තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, හෙද සංගම් ඇතුළු වෙනත් සේවක සංගම් ක්‍රියාත්මක වුව ද මෙම AFNS නැමැති නාමයෙන් කිසිදු සංගමයක් ක්‍රියාත්මක නොවන බවත් මෙය කිසියම් මැර කණ්ඩායමක තර්ජනයක් වීමට ඉඩ ඇති බවයි.
ගාල්ල කරාපිටිය රෝහලේ මෙතෙක් වාහන ගාල් කිරීමේ දී පැමිණි පිළිවෙලින් ඉඩ ඇති පරිදි කාර්ය මණ්ඩල සඳහා වාහන ගාල් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ අතර ගාල්ල කරාපිටිය රෝහලේ අධ්යක්ෂ ජයම්පති සේනානායක ගාල්ල නියෝජ්‍ය පොලිස්පතවරයාගෙන් ලිපියක් මඟින් හෙට (27) දින උදෑසන කාලයේ දී රෝහලට පොලිස් ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
මෙහි දී ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ රෝහලේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටළුවක් පැනනැගී ඇති නිසා 27 වැනි දින උදෑසන ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වීමේ හැකියාවක් පිළිබඳ සැකයක් පවතින නිසා එවැනි තත්වයක් ඇති වුවහොත් සමස්ථ රෝහල් සේවා කටයුතු මුළු මනින්ම බිඳ වැටීමට හැකියාව ඇති නිසාත් මෙසේ ආරක්ෂාව ඉල්ලන බවයි.
පිලිකා රෝහල පසු කරන විට දකුණු පසින් ඇති රෝහලට ඇතුළු වන ගේට්ටුව පවතින ස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙසයි එලෙස ඉල්ලා ඇත්තේ.