Friday, January 17, 2025

General line - 0115112241

උතුරේ මීලඟ මහ ඇමති ගැන මහ ඇමති කියයි

දිනසේන රතුගමගේ




උතුරේ මීලඟ ප‍්‍රධාන අමාත්‍යධූරය හිමිවන්නේ ද තමාටම බව වත්මන් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා. ඔහු කියා සිටියේ උතුරේ දේශපාලන වටපිටාව පිළිබඳ තමාට වසර 60ක අත්දැකීම් ඇති බවයි. දේශපාලන වශයෙන් විවිධ අදහස් වරින්වර මතුවුවද ඒවා ස්ථිර අදහස් හෝ නිගමන නොවන බව ප‍්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

2009දී දෙමළ ජාතික සන්ධානය ජනතාව වෙනුවෙන් යැයි කියූ බෝහෝ තීන්දු තීරණ මේවනවිට අසාර්ථක වී ඇති බවයි ඔහුගේ අදහස වන්නේ. නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවද සී වී විග්නේෂ්වරන් පවසනවා. 

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා මේවනවිට සියලූ දෙනාට අමතකවී ඇති බවත්, එම යෝජනා කි‍්‍රයාත්මක කරවා ගැනීමට බලපෑම් වැඩිකළ යුතු බවත් ඔහු කියා සිටියා. උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යුද අපරාධවලට සම්බන්ධ සියලූ දෙනාට දඬුවම් ලබා දිය හැකි පරිදි විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම අනිවාර්යය බවයි.

දකුණේ නඩු ඇසීමට රජය විශේෂ අධිකරණ පිහිටුවනවා සේ, මෙම කාරණයටත් උනන්දු කරවා ගත යුතු බව සී වී විගේනේෂ්වරන් අවධාරණය කරනවා. ඒ යාපනයේ පැවැති උත්සවයක් අමතමින්.