Friday, January 17, 2025

General line - 0115112241

ශි‍්‍ර ලංකා සාගරයේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියක් අද සිට

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




ශි‍්‍ර ලංකා සාගරයේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියක් අද සිට ආරම්භ වනවා. ඊට අදාළ ද්විමාන භූ කම්පන දත්ත රැස් කරන නෞකාව අද (02) උදෑසන කොළඹ වරායේදී සිය මෙහෙයුම් ආරම්භ කළා. ති‍්‍රකුණාමලය සහ මඩකලපුව ආවරණ වන පරිදි නැගෙනහිර මුහුදේ ඛනිජ තෙල් ගවේෂණය කිරීම මේ යටතේ සිදුවනු ඇති. මෙම ව්‍යාපෘතියට එක්වන්නේ ලොව ඛනිජ තෙල් ගවේෂණයේ ප‍්‍රමුඛතම ප‍්‍රංශ සමාගමක් බවයි අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ පැවසුවේ.


දින 40 ක් පමණ නැගෙනහිර මුහුදේ කිලෝමීටර් පන් දහසක වපසරියක් ආවරණය කරමින් මෙම නෞකාව ගවේෂණය කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. වරෙක ගොඩබිමට ආසන්න වෙමින්ද තවත් වරෙක දියඹින් ගමන් කරමින්ද නෞකාව දත්ත රැස්කරනු ඇති.

මේ හේතුවෙන් ධීවර කටයුතුවලට කිසියම් බාධාවක් මතුවේ දැයි නෙත් නිවුස් ධීවර සහ ජලඡු සම්පත් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි ති‍්‍රකුණාමලය ප‍්‍රාදේශීය ධීවර පරීක්‍ෂක තිලක් බණ්ඩාර සෙනරත් පැවසුවේ ධීවර ප‍්‍රජාව සිය කර්මාන්තය කරගෙන යාමේදී නෞකාව පිළිබද අවධානයෙන් සිටින ලෙස දැනුවත් කර ඇති බවයි. දැල් එලීමේදීද නෞකාවේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් කටයුතු කරන ලෙසට උපදෙස් දුන් බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.