Saturday, January 18, 2025

General line - 0115112241

තෙල් කාන්දු වූ ස්ථාන වෙත කෙටි කාලයක් යන තෙක් නොපැමිණෙන්නයි ජනතාවට උපදෙස් (PHOTOS)(UPDATE)

තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න/ලහිරු කපුගේ/ මහේෂ් චතුරංග




මුහුදේ සිට මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ගෙනයන නලයක සිදු වූ කාන්දුවෙන් ගලා ගිය ඉන්ධන සම්පූර්ණයෙන් ඉවත් කිරීම කල් යන ලකුණු පෙන්නුම් කර තිබෙනවා. ඒ, එම කටයුතු සිදු කිරීම ඉතා අපහසුවීම හේතුවන්.

මේ වනවිටද තල්දියවත්ත, දික්ඕවිට සහ උස්වැටකෙයියාව ඇතුළු ප‍්‍රදේශවල වෙරළ තීරයේ ඇති ඉන්ධන ඉවත් කිරීම සිදුවනවා. නාවික හමුදාව, යුද හමුදාව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එක්ව සිටින බවයි එම ප‍්‍රදේශයේ සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔහු කියා සිටියේ කලූ පැහැති ඉන්ධන තට්ටු මුහුදු ජලයේ සහ වෙරළ තීරයේ තවදුරටත් පවතින බවයි. ඒ අනුව වෙරළ තීරය පිරිසිදු කිරීමට තවත් කොපමණ කාලයක් ගතවනු ඇත්දැයි නෙත් නිවුස් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරාගෙන් විමසීමක් කළා.

ඔහු පෙන්වා දුන්නේ මෙම ප්‍රදේශය යථාතත්ත්වයට පත් වීමට කෙටි කාලයක් ගත විය හැකි බවයි. මේ ආශ්‍රිතව නාන තොටුපළවල් දෙකක් ඇති බවත් සති අන්තයේ විශාල පිරිසක් එම ස්ථාන කරා පැමිණෙන බවත් ටික කාලයක් යන තෙක් එම ප්‍රදේශය නෑමට භාවිතා නොකර සිටීම සෞඛ්‍යට හිතකර බවත් සඳහන් කළා. 

ප‍්‍රදේශයේ ජනතාව මෙන්ම එම ප‍්‍රදේශයට පැමිණෙන සංචාරකයින් ස්නානය කරන ස්ථානවලටද ඉන්ධන තට්ටු විසිරි ඇතැයි නෙත් නිවුස් කළ ක්ෂේත‍්‍ර චාරිකාවේදී දැකගත හැකිවුණා. ඒවා ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු වන බවයි සභාපතිවරයා කියා සිටියේ. 

හොඳින්ම පිරිසිදු කරන තුරු එම ප‍්‍රදේශයේ ස්නානය කිරීම අනතුරුදායක බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. එබැවින් සැලකිය යුතු කාලයක් යනතුරු ස්නානය සඳහා එම ප‍්‍රදේශය භාවිත කිරීමෙන් වළකින්නැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ජලයෙන් ඉවත් කර ගන්නා ඉන්ධන යළි පරිපහදු කර භාවිත කිරීමට හැකිවන පරිදි කොලොන්නාවට රැගෙන යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් වැලි සමග මිශ‍්‍ර වී ඇති ඉන්ධන තට්ටු දහනය කර විනාශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ, එම ඉන්ධන වලින් භූගත ජලයට හානියක් සිදුවීමට ඇති ඉඩ වළක්වමින්. 


 

-------------------------------

වෙරළ තීරයේ තව දුරටත් තෙල් (PHOTOS)

(10-09-2018 07:23)

 

මුහුදේ සිට මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ගෙනයන නලයක සිදු වූ කාන්දුවෙන් ගලා ගිය ඉන්ධන තවදුරටත් දික්ඕවිට, උස්වැටකෙයියාව ඇතුළු ප‍්‍රදේශවල වෙරළතීරයේ පවතිනවා.

නෙත් නිවුස් අද (10) අලූයම කළ ක්ෂේත‍්‍ර චාරිකාවකදී අනාවරණ වුණේ කලූ පැහැති තෙල් තට්ටු තවදුරටත් මුහුදු ජලයේ මෙන්ම වෙරළ තීරයේද දැකගත හැකි බවයි.

අදාළ ප‍්‍රදේශයේ ආරක්ෂාවට මේ වනවිට නාවික හමුදාව යොදවා ඇති ආකාරය ද එහිදී දැකගත හැකි වුණා.

වෙරළ තීරයට ගසාගෙන ආ ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු ඊයේ (09) දිනය තුළ සිදුවුණේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ඊට 300කට අධික පිරිසක් එක්ව සිටියා. අද දිනයේද එම කටයුතු සිදු කරන බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.  ඉන්ධන ඉවත් කිරීම සඳහා දැඩි පරිශ‍්‍රමයක් දරමින් ඔවුන් ඊයේ දවස පුරා කඩිනමින් මෙහෙයුම්වල නිරතව සිටි අයුරු එය ආවරණය කළ නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකිවුණා.

නෙත් නිවුස් කළ විමසිමකදි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර කියා සිටියේ සාගර කලාපය ආශි‍්‍රත පරිසර පද්ධතියට මේ හේතුවෙන් බලපෑම් එල්ල වීමේ දැඩි අවධානමක් පවතින බවයි.

ඉන්ධන කාන්දු වීම හේතුවෙන් උස්වැටකෙයියාව මුහුදු තීරයේ මෙන්ම පමුණුගම දක්වා වූ වෙරළ තීරයේද කලූ තෙල් පැල්ලම් තවදුරටත් දැකගත හැකි වනවා.

මේ අතර නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ  සභාපති ධම්මික රණතුංග පැවසුවේ නළය මගින් රැගෙන ගියේ දැවි තෙල් විශේෂයක් බැවින් මෙම කාන්දුවෙන් ඉන්ධන හිගයක් ඇතිවීමේ අධානමක් නොමැති බවයි.

මෙම ඉන්ධන රැගෙන ගිය නළය ඉතා පැරණි නලයක් බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළිවුණේ. වසර 60ටත් වඩා පැරණි මෙවැනි නළ මගින් තවදුරටත් ඉන්ධන රැගෙන යන බවද එහිදී හෙළි වුණා.