ආනයනික තෙල් මුතුරාජවෙල ගබඩා සංකීර්ණය වෙත රැගෙන යන නලයක ඉකුත්දා සිදුවූ කාන්දුව එම ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ නොසැලකිල්ල නිසා සිදුවූවක් බවට වෘත්තීය සමිති චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි කාන්දුවක් සිදු විය හැකි බවත්, ඒ අනුව අදාළ නලය වෙනුවට අලුත් නලයක් සවි කරන ලෙසත් සේවකයින් අවස්ථා කිහිපයකදීම යෝජනා කර ඇති බවයි. එහෙත් ඉහළ කළමනාකාරීත්වය ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද වෘත්තීය සමිති පැවසුවා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මේ බව අනාවරණය කළා.
මේ අතර කාන්දු වූ තෙල් දික්ඕවිට, උස්වැටකෙයියාව හා ආශ්රිත ප්‍රදේශ කිහිපයක දී මුහුදට මිශ්‍ර වුණා. එලෙස මුහුදට මිශ්‍ර වූ තෙල් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා. ඒ පිළිබඳ කරුණු දක්වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා සඳහන් කළේ මෙම කටයුතු කඩිනමින් සිදු වෙනු ඇති බවයි.
ඉවත් කරනු ලබන තෙල්වලින් කොටසක් පිරිපහදු කර නැවත භාවිතයට ගතහැකි වනු ඇතැයි මෙහිදී විශ්වාසය පළ කෙරුණා. එහෙත් තවත් කොටසක් එලෙස භාවිතයට ගැනීමට නොහැකි වනු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මුහුදට මිශ්‍ර වූ තෙල් ඉවත් කිරීමට වැයවන මුදල් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අයකර ගැනීමට අදහස් කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අතර සිදු වූ කාන්දුව සම්බන්ධයෙන් ඛණිජ තෙල් තොග ගබඩා සංකීර්ණයට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මීට පෙර පැවසුවේ.