Monday, May 20, 2024

General line - 0115112241

විරෝධතාවයේ නිරත රැඳවියන් බන්ධනාගාර කටයුතුවලටත් බාධා කරයි

ගුණරත්න ගමගේ/හේමන්ත කහවලගේ/නිශාන් ද සිල්වා/සජිත් තිලකරත්න/ලහිරු කපුගේ




අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් ආහාර සැපයීම පිළිබඳ දැඩි ගැටළුවක් මතුව තිබෙනවා. ඒ, විරෝධතාවයේ නිරතව සිටින පිරිස් ආහාර පිසීමේ කටයුතුවලට බාධා සිදු කිරීම හේතුවෙන්.

විරෝධතාවට එක්ව සිටින්නන් ද ඊයේ (21) උදෑසන සිට බන්ධනාාගරයෙන් සපයන ආහාර ලබාගෙන නැහැ. එමෙන්ම සෙසු රැඳවියන්ට ආහාර ලබාදීමට ද ඔවුන් බාධා සිදු කරමින් සිටිනවා. මේ හේතුවෙන් බන්ධනාාගර රෝහලේ ප‍්‍රතිකාර ලබන රැඳවියන් 40 කට පමණ ආහාර ලබාදීමේදී ද මතුව ඇත්තේ ගැටළුකාරී තත්ත්වයක්. තත්වය සලකා ඇඹිලිපිටිය කදුරුගස්ආර බන්ධනාගාරයෙන් ආහාර ගෙනවිත් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.  

බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට විරෝධය පළ කරමින් රැඳවියන් පිරිසක් කුළුණක් මත නැග විරෝධතාව ආරම්භ කළා. තවදුරටත් ඔවුන්ගේ විරෝධතාව සිදු වන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ. තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඊයේ (21) රාත‍්‍රියේ ඒ ආසන්නයට ගිය නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ රැඳවියන් කුළුණ මත සිටිමින් ගීත ගයමින් රැය පහන් කළ බවයි.  

විරෝධතාව පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද ඊයේ රාත‍්‍රියේ කොළඹ සිට අගුණකොලපැලැස්ස බන්ධනාගාරය බලා පිටත් වුණා. කුමන විරෝධතා පැවතියද බන්ධනාගාර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම කිසි ලෙසකින් හෝ නතර නොකරන බවයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසියකදී නීති විරෝධීව ළග තබාගෙන සිටි දුරකතන සිම් කාඞ්පත් 06ක් ද සොයාගෙන තිබෙනවා. රැඳවියන්ට අමතරව බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හැර ඉන් පහළ සෙසු සියලූ දෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙහිදී පරීක්ෂාවට ලක් කරනු ලබනවා. 

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත් පහතින් දැක්වෙයි)

බන්ධනාගාර විරෝධතාව දික්ගැස්සෙයි: කාන්තා රැඳවියන් සහයට එයි (PHOTOS) (UPDATE)

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ගැටළුව විසඳන්න කොළඹින් යයි