Tuesday, May 14, 2024

General line - 0115112241

සෙල්ලං ගේ හදන්න ගිහින් සිසුවියකට පිහියෙන් ඇන්න සිසුවා 

රවින්ද්‍ර චන්ද්‍රලාල්




එකොළොස්  හැවිරිදි පාසල් සිසුවියකට  පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහළොස්  හැවිරිදි සැකකාර පාසල් සිසුවා ලබන 14දා දක්වා පරිවාස භාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව  හික්කඩුව පොලිසිය පැවසුවා.

මෙම දරුවන් දෙදෙනා හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ ආසන්න නිවාස දෙකක පදිංචිකරුවන් වනවා.

සෙල්ලම් ගෙයක් සෑදීමට අසළ ඇති ලදු කැළැවක් තුළට ගිය අවස්ථාවේදී මෙම පිහි ඇනුම සිදුවී තිබුණා.

ඉකුත් 04වැනිදා  පස්වරුවේ දී මෙම පිහි ඇනුම සිදුවී ඇති බවත් පිහි ඇනුමෙන් තුවාල ලැබු  සිසුවිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් පැවසුවේ.

දෙදෙනා අතර ඇතිවූ  බහින්බස් විමක් දුරදිග ගොස් සිසුවිය කෑගසා තිබෙනවා. පසුව පාසල් සිසුවා විසින් සිසුවියගේ ගෙලට සහ මුහුණට පිහියෙන් ඇන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

හික්කඩුව පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ ලියනගේ ඇතුළු නිලධාරීන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.