Wednesday, May 15, 2024

General line - 0115112241

ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවීමට අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අධිකරණ වාර්තාකරු




පසුගිය ඔක්තොම්බර් මස ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඇති වු උණුසුම් අවස්ථාවේ දී කළහාකාරි ලෙස හැසිරෙමින් ඇමැති ආරක්ෂක අංශ පොලිස් කොස්තාපල්වරයාට පහර දීමේ චෝදනා සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ නාගරික මන්ති‍්‍ර කුලතිස්ස දීගනගේ ජනවාරි මස 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව සැකකරු සමඟ එම පරිශ්‍රයට ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණු අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කරනු ලැබුවා.

එම සිදුවීමේදී ඇමැති ආරක්ෂක නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබීමේ සිද්ධිය ආරම්භ වීමට නාගරික මන්ති‍්‍ර කුලතිස්ස දීගනගේ මහතාගේ ක්‍රියාකාරීත්වය හේතුවී ඇති බවට අධිකරනයට කරුණු ඉදිරිපත් කරන ලදී .

ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියා ජනවාරි මස 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.