Friday, May 3, 2024

General line - 0115112241

පදවි ප‍්‍රාප්තියේ සිව්වන සැමරුම වෙනුවෙන් ජනපතිගෙන් රටට තෑග්ගක්

පසන් වික්‍රමතිලක




මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ 04 වන සැමරුම හා 05 වන පිවිසුම අදට (08) යෙදී තිබෙනවා. ඒ නිමිති කරගනිමින් කළු ගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පත් කිරීම ද අද සිදු කිරීමට නියමිතයි. 

ලග්ගල පැරණි නගරය කළු ගඟ ජලාශයට යට වනවා. එයින් අවතැන් වන පවුල් 3000කට ලග්ගල නව නගරයේ පහසුකම් සැපයෙනු ඇති.

කළු ගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය ද අද සිදු කෙරෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒ පිළිබඳව කරුණු දැක්වූවා. 

කළු ගඟ ජලාශය මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහ ජලාශය වනවා. මෙම ජලාශයේ ධාරිතාව අක්කර අඩි ලක්ෂ 02ක්. විශාලත්වයෙන් එය පරාක‍්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් වනවා. කළු ගඟ සහ මොරගහකන්ද යන ජලාශ 02ම එක්ව සැලකු විට එය පරාක‍්‍රම සමුද්‍රය මෙන් 06 ගුණයක්.

කළු ගඟ ජලාශයේ ජලයෙන් හත්තොටඅමුණ ප‍්‍රදේශයේ අක්කර 1500ක භූමි ප‍්‍රමාණයක් වගා කිරීමට නියමිතව තිබෙනවා. ලග්ගල නව නගරයේ ජනතාව පෝෂණය කෙරෙන්නේ ද එම ජලාශයෙන්. වන සතුන් සහ වෙනත් අවශ්‍යතා සඳහා ද කළු ගඟ ජලාශයෙන් ජලය මුදා හැරෙනවා. එහි ඉතිරි ජලය උමං සහ ඇළ මාර්ග ඔස්සේ මොරගහකන්ද ජලාශයට රැගෙන යන පරිදියි ව්‍යාපෘතිය සකස් කර ඇත්තේ. උමග සහිත ඇළ මාර්ගයේ දිග කිලෝමීටර් 09ක් වනවා.