Wednesday, May 15, 2024

General line - 0115112241

දේශපාලන වේදිකා උණුසුම් කරන ''ඔරුමිත්ත නාඩු'' යන්න TNA පැහැදිළි කරයි

දිනසේන රතුගමගේ




''ඔරුමිත්ත නාඩු'' යනු ඒකීය රාජ්‍යයක් මිස පෙඩරල් රාජ්‍යයක් හෝ ස්වයං නිර්ණ අයිතිය ඉල්ලීමේ ක්‍රමයක් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  එම්.ඒ. සුමන්තිරන් යාපනයේදී පැවසුවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊ‍යේ (12) රාත්‍රියේ යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති විශේෂ දේශනයක් ඉදිරිපත් කරමින්.

ආගමික නායකයින් දෙමළ දේශපාලනඥයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය විසින් වෙනම රාජ්‍යයක් හෝ රටක් ඉල්ලන බවට පතුරුවන ආරංචි කිසිම සත්‍යතාවයකින් තොර බවයි.

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන ක්‍රමයක් මිස වෙනත් දෙයක් නොවන බවයි සුමන්තිරන් මන්ත්‍රිවරයා සිය දේශනයේදී වැඩි දුරටත් පැහැදිළි කර ඇත්තේ.

මෙය දෙමළ භාෂාවෙන් ''ඔරුමිත්ත නාඩු'' ලෙස හදුන්වන විටම සියළු දෙනා බියට පත් වී ඇති බව පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය ඉතා හොදින් අවබෝධ කරගෙන දකුණේ සිංහල දේශපාලන පක්ෂ හා දකුණේ සෙසු සිංහල සහෝදරයින් නව ව්‍යවස්ථාවක් සකසා එය සම්මත කරගැනීම සඳහා සහය දෙන ලෙසද ඉල්ලා සිටියා.

උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදා හැරීම සඳහා අතීතයේද රට තුළ විවිධ උත්සාහයන් පැවති බවද පෙන්වා දී තිබෙනවා.

මෑත කාලීන ඉතිහාසයේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය බලය බෙදා හැරෙන ක්‍රමයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විරුද්ධ වූ අන්දම ඔහු පහදා දී තිබෙනවා. ඒ කාල වකවානුවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය එම යෝජනාවලිය පිළිබඳව සෑහීමකට පත් නොවූ බවත් ඒ විරෝධය නිසාම දෙමළ ජාතික සන්ධානයටද නිහඩව සිටීමට සිදු වූ බවද සුමන්තිරන් මන්ත්‍රිවරයා සඳහන් කරනවා.

කෙසේවෙතත් මේ වන විට ලෝකයේ රටවල් 33 ක එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කොට ඇති බව කී මන්ත්‍රිවරයා එය එසේ වී ඇත්තේ මන්දැයි යන්න විශාල ප්‍රශ්නයක් බවද සඳහන් කරනවා.