Thursday, May 16, 2024

General line - 0115112241

හින්දු ජනතාවට ජනපතිගෙන් අගමැතිගෙන් සහ විපක්ෂනායකගෙන් සුබ පැතුම්




අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් හින්දු ජනතාව වෙත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

දෙමළ ඉතිහාසයේ පහළ වූ විශිෂ්ඨතම කවියෙකු ලෙස සැලකෙන භාරදියාර් ‘‘ගොවිතැනට නමස්කාර කරමු’’ යනුවෙන් කළ ඓතිහාසික කවියෙන් දෙමළ ජනයා ගොවිතැන සම්බන්ධයෙන් පළ කරන පූජනීය පිළිගැනීම ප‍්‍රකට කරවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

බහුවිධ ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව කියා පෑමට මේ ආකාරයේ සංස්කෘතික උත්සව ඉවහල් වන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ. දුරුතු උදාවෙන් ජීවිතයට නව මං විවර වන බව දෙමළ ජනයාගේ විශ්වාසයයි. එම විශ්වාසයන් ඉටුවී ජීවිතයට නව උදාවක් එළඹෙන පී‍්‍රතිමත් තෛපොංගල් උත්සවයකට තමන් සුභ පතන බවද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් දක්වා තිබෙනවා.

 

-------------------------

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංෂණ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ තෛපොංගල් උත්සවය දෙමළ ජනතාවට පමණක් නොව සමස්ථ ලෝකවාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියා පාන උත්සවයක් බවයි.

වාර්ගික, ආගමික අන්තවාදී බලවේග පරදවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළ වටපිටාවක මෙවර තෛපොංගල් උත්සවය සමරන්නට ලැබීම සතුටට කරුණක් බව ද අග‍්‍රාමාත්‍යවරයා සිය සුභාසිංශන පණිවිඩයෙන් දක්වා තිබෙනවා. 

 

------------------------

 

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ තෛපොංගල් උත්සවය ගොවියන්ට පමණක් නොව සියලූ දෙනාටම සුහදත්වය සහ අන්‍යෝනය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් බවයි.

ඉන් ලබා දෙන පණිවිඩය ලෝවාසී සියලූ දෙනාටම ඉතා වැදගත් බවද සිය සුභ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම තෛපොංගල් දිනයේදී උතුරු නැගෙනහිර ආපදාවලින් බලපෑමට ලක්වූ ජන ජිවිතය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමට අදිටන් කර ගත යුතුයි. රටේ විපක්ෂ නායකවරයා ලෙස රට තුළ එක්සත් සහ සාමාකාමී ජිවිතයක් සැමදෙනාටම ගත කිරීමට ඉවහල් වන සහ එකග විය හැකි දේශපාලන විසඳුමක් ලැබෙනු ඇතැයි ප‍්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයේ දක්වා තිබෙනවා. 

 

----------------------

ජනතා විමුක්ති පෙරමුණ ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. යුක්ති ගරුක දේශයක්, සාධාරණ සමාජයක් හා නිවහල් මිනිසෙක් වෙනුවෙන් වන බලාපොරොත්තු ජය ගැනීමට එකමුතුව සටන් වැදීමට ශ‍්‍රී ලාංකේය දෙමළ ජනතාවට ගෞරවයෙන් ආරාධනා කර සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.