Thursday, May 9, 2024

General line - 0115112241

රේගුවේ සිරවී ඇති බහාලූම් නිශ්කාෂණය කිරීමේදී තවත් ගැටලුවක්

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවේ සිරවී ඇති බහාලූම් නිශ්කාෂණය කිරීමට තවත් දින 07ක් පමණ ගතවනු ඇතැයි රේගු වෘත්තීය සමිති පවසනවා. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා පැවසුවේ ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු බහාලූම් කඩිනමින් නිශ්කාෂණය කිරීමට කටයුතු කරන බවයි. 

වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වූ බවත් ආනයනකරුවන්ට ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම හේතුවෙන් තවත් ගැටළුවක් උද්ගත විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව ප්‍රමාද ගාස්තු ගෙවීම සම්බන්ධයෙන්ද රජය තීරණයක් ගත යුතු බවයි පෙන්වා දුන්නේ. ආනයනකරුවන්ට එහි පාඩුව නොදැනෙන්න කටයුතු සිදුවිය යුතු බවයි වැඩිදුරටත් සඳහන් කෙරුණේ.

දින 07ක් පුරා ක‍්‍රියාත්මක වූ අකුරට වැඩ කිරීමේ රේගු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ඊයේ (05) රාත‍්‍රියේ අවසන් කෙරුණා. ඒ, පී. එස්. එම්. චාල්ස් යළි රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට පත් කිරීමත් සමඟයි.