Friday, May 3, 2024

General line - 0115112241

ATM දත්ත සොරා කෑ විදෙස් ජාතිකයින් තිදෙනා CID අත්අඩංගුවට




සියුම් යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් ATM යන්ත්‍ර වලට ඇතුලත් කරනු ලබන ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් පත් වල දත්ත සොරා ගෙන ඒ හරහා ව්‍යාජ කාඩ් පත් සකස් කොට මුදල් ලබා ගැනිමේ ජාවාරමක් සම්බන්ධයෙන් චීන ජාතිකයින් දෙදෙනෙක් සහ රුමේනියානු ජාතිකයෙක් අත් අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

සති කිහිපයක් පුරා සිදුකරන ලද විමර්ෂනයකින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව සමත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියේ.

ඉකුත් ජනවාරි මස 20 සහ 21 යන දිනයන් හිදි කොළඹ පිටකොටුවේ චැතෑම් විදියේදි සහ වැල්ලවත් ප්‍රදේශයේදි චීන ජාතිකයින් දෙදෙනෙක්ද පෙබරවාරි මස 03 වනදා පානදුර ප්‍රදේශයේදි රුමේනියා ජාතිකයෙක්ද අත්අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව සමත්ව තිබෙනවා.

මෙම පිරිස සතුව තිබි ව්‍යාජ ලෙස සකස් කරන ලද කාඩ් පත් 200 කට අසන්න සංඛ්‍යාවක්, මුදලින් ලක්ෂ 12ක් සහ ක්‍රෙඩිට් කාඩ් දත්ත සොරා ගැනිමේ උපකරණ දෙකක් සොයා ගෙන තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට අත් අඩංගුවට ගනු ලැබු චීන ජාතිකයින් දෙදෙනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 13 වනදා දක්වාත්,  රුමේනියානු ජාතිකයා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 18 දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ජනතාව ගෙන් ඉල්ලා සිටියේ ATM යන්ත්‍ර ආශ්‍රිතව ගැවසෙන සැකකටයුතු පුද්ගලයින් වෙතොත් වහාම ලගම තිබෙන පොලිස් ස්ථානය වෙත දැනුම් දිමට පියවර ගන්නා ලෙසයි.