Friday, May 3, 2024

General line - 0115112241

මේ රටේ දුෂිත ස්ථානය වැලිකඩ බන්ධනාගාරයයි : මානව හිමිකම් සංවිධානවලටත් ජනපති ගෙන් දෝෂාරෝපණයක්

දිනුක් හේවාවිතාරණ / සජිත් තිලකරත්න




මෙරට වෙලාගෙන තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යාමේදී ඒ සඳහා හරස් නොවන ලෙස සියලුම මානව හිමිකම් සංවිධාන වලින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියා.

ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කරුණු පැහැදිලි කරමින් ඉහත කාරණාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ.

" කොකේන්, මරිජුවානා සහ සින්තටික් මත්ද්‍රව්‍යක් වන අයිස් බරපතල ලෙස මෙරට විනාශ කරමින් සිටින නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව මා පසුගිය වසර කිහිපය පුරාවට කියා සිටියා. අද වන විට ඉන්දියාව, සිංගප්පුරුව, අමෙරිකාව ඇතුළු බොහෝ රටවල මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මකයි. අපි අධ්‍යාත්මික සමාජයක් ගොඩ නගන්න විශාල කැප කිරීමක් කරනවා. අධ්‍යාත්මක ප්‍රතිපත්ති වගේම රටේ නීතියත් ක්‍රියාත්මක කර යුතුයි. 

ඒ අනුව මිට වසර එකහමාරකට පෙර ඉදලා නිතිය හමුවේ වරදකරුවන් වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ ලේඛණයක් ලබා දෙන්න කියලා අදාළ වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටියා. නමුත් ඒවා දිගින් දිගටම ප්‍රමාද කළා. ඇතැම් වෙලාවට අපිට එම වාර්තා සොයා ගන්න අපහසුවෙන විදිහට සමහර තැන් වලදී එම වාර්තා හංගලා තිබුනා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ තිබෙන හැකියාව හින්දා.

මම කියන්න කැමති වැලිකඩ බන්ධනාගාරය තමයි මේ රටේ දුෂිත බන්ධනාගාරය. මේ රටේ මත්කුඩු මත්පෙති වැනි සියලු දේ ක්‍රියාත්මක වන්නේ වැලිකඩ බන්ධනාගාරය හරහායි. අපි දැන් කතා කරමින් සිටිනවා වැලිකඩ සිටින දරුණු ගණයේ අපරාධකරුවන් බුස්ස ප්‍රදේශයට යවන්න. ඉකුත් ජනවාරි මාසයේදී තමයි මරණ දඬුවම ගැන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛණ කිහිපයක් මා වෙතට ලැබුනේ. නමුත් ඒ ලේඛණ වලත් ගැටළු තියෙනවා. මොකද කියනවා නම් මරණ දඬුවම නියම වෙලා අභියාචනා නොකර සිටි වැරදිකරුවන් මගේ ප්‍රකාශයෙන් පස්සේ දැන් අධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නිත්‍යානුකුලව කටයුතු ඉදිරියට කරනවා.

ලේසියෙන්ම තොරතුරු ලැබුනේ මරණ දඬුවම නියමවී සිටින පාකිස්ථාන ජාතිකයෙක් සම්බන්ධයෙන්. නමුත් මම කැමති වුනේ නැහැ විදෙස් ජාතිකයෙක්ට මරණ දඬුවම දෙන්න.  ඒ අනුව අපි පාකිස්ථාන  රජයට දැනුම් දුන්නා මෙම අපරාධකරුව එරටට ගෙන්වා ගන්න කියලා. නමුත් මේ සිරකරුවා තමන්ගේ රටට යන්න ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔහු දන්නවා ඒ රටට ගියොත් මේ වගේ නෙමෙයි මරණ දඬුවම ක්‍රියාත්මක වනවා කියලා.

සියලුම නීතිමය කටයුතු සිදුකරාට පසුව තවත් මාසයකින්  දෙකකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා. නමුත් මම මේ රටේ සියළුම මානව හිමිකම් සංවිධාන වලට කියනවා මේ රටේ මත්ද්‍රව්‍ය හා පාතාල කටයුතු සම්බන්ධයෙන් මරණ දඬුවමට ක්‍රියාත්මක කිරීමේදී එයට එරෙහිව ඉන්න එපා කියලා.

ඒ වගේම අපේ රටේ ආරක්ෂාවට සිටින මානව හිමිකම් කොමිසම අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාවට යෙදෙව්වම ඒ ගැන විමසීමක් කරලා ප්‍රශ්න පත්තරයක් එවලා තිබෙනවා. STF එක කියන්නේ අවංකව කටයුතු කරන පිරිසක්.

අපේ ත්‍රිවිධ හමුදාවේ විදෙස් පුහුණුවීම් සහ එක්සත් ජාතික  සාම සාධක හමුදාවේ රාජකාරි සදහා යාමේදී ඒවා ප්‍රමාද කරන්නේ අපේ මානව හිමිකම් කොමිසමයි. මම හරිම කණගාටු වෙනවා ඊයේ දිනයේදී භූමදානය සිදුකරන ලද මාලි හිදී මියගිය හමුදා නිලධාරීන් දෙදෙනා ගැන මම කියන්න ඕනේ. මේ දෙදෙනා ලංකාවට එන්න සිටියේ මිට මාස 06 කට කලින්. අපේ හමුදාවේ සෙබළුන් මාරු කරන්න විදිහක් තිබුනේ නැහැ. ලංකාවේ ඉදලා යන්න හිටිය හමුදා පිරිස් ගේ මානව හිමිකම් වැරදි ගැන කිය කියා ඒවා ප්‍රමාද කලේ අපේ මානව හිමිකම් කොමිසමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.