Saturday, May 4, 2024

General line - 0115112241

තිස්සට එරෙහි නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරන්න එකඟතාවයක්

අධිකරණ වාර්තාකරු




එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කර ගැනීමට මේ වන විට එකගතාවය පල කර ඇති බව දෙපාර්ශ්වය විසින් කොළඹ මහාධිකරණයට අද (12) දැනුම් දෙනු ලැබුවා.

ඒ, ඉකුත් ජනාධිපතිවරණය සමයේදී කූඪ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක‍්‍රියාවක නිරතවූ බවට එල්ල වූ චෝදනාවට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

අද දින මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් පවසා සිටියේ මෙම අධි චෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය නීතිපතිවරයා වෙත ලිපියක් එවා ඇති බවයි.

මෙම නඩුව සමථයකින් අවසන් කර ගැනීමට නඩුවේ පළමු සාක්ෂිකරු වන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කැමැත්ත පලකර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේවෙතත් නඩු කටයුතු අවසන් කර ගැනීම සමාව අයැදීමකින් සිදු වේද වෙනත් ක‍්‍රමයකින් සිදු වේද යන්න දැනගැනීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝශන් පෙරේරා මෙහිදී ප‍්‍රකාශ කළා. ඒ අනුව නඩුව කෙටි ක‍්‍රමයකින්, සමාව අයැදීමකින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි තිස්ස අත්තනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප‍්‍රකාශ කර ඇත්තේ. මෙම සමථවීම සම්බන්ධයෙන් ප‍්‍රගතිය දැන ගැනීමට නඩුව මාර්තු මස 25 කැදවීමට නියමිතයි.