Sunday, May 19, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ගේ විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අධිකරණ වාර්තාකරු




අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු  ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළා.

ඒ අනුව  උතුරු පළාත් හිටපු  ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ආනන්දි සෂිදරන් සහ කේ. සිවනේශන් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු කටයුතු  අභියාචනාධිකරණයේ ඉදිරියට පවත්වාගෙන යාමට විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ නියෝග කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට පවසමින් විග්නේෂ්වරන් ඇතුළු තිදෙනා විසින් මීට පෙර මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව එම  මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අද (13) දින ප්‍රකාශයට පත් කළා. 

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ  මෙම නඩු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් නව විනිසුරු මඩුල්ලක් තීරණය කිරීමට මෙම නඩුව පෙබරවාරි 15 වැනිදා කැඳවීමට නියමිතයි.

හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු තිදෙනකුට එරෙහිව උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙසට කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට වන පැමිණිල්ලකට අනූවයි. 

මෙම පැමිණිල්ලට අනුව මහ ඇමතිවරයා ඇතුළු තිදෙනකු අභියාචනාධිකරණයේ තීන්දුව නොසලකා හැර ඇති බවට ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා චෝදනා කර සිටියි.