Thursday, May 16, 2024

General line - 0115112241

දකුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාරුවේ සුලමුල : රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ පැහැර ගැනිමේ CID විමර්ශනය නිසාද?

දිනුක් හේවාවිතාරණ




වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන කොළඹ පොලිස් මුලස්ථානය වෙත මාරු කිරීමට පොලිස්පති පුජිත ජයසුන්දර ඊයේ (16) නියෝග කර තිබෙනවා.

ඒ රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙන විමර්ශනයක් හේතුවෙන්.

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් වන මංජුල අසේල කුමාර (33) සහ රසීන් චින්තක (31) ඉකුත් ජනවාරි මස 23 වැනිදා දාහවල් කාලයේදී පොලිස් නිළ ඇදුමින් පැමිණි පිරිසක් මාංචු යොදා අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුලේ සමාජිකයින් රත්ගම පොලිසියට පැමිණ සොයා බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් එහි සිටි නිළධාරින් පැමිණිල්ලක් සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දිගින් දිගටම අතුරුදහන් වු පුද්ගලයින් දෙදෙනාගේ පවුලේ සමාජිකයින් විසින් සිදුකරන ලද පෙරැත්ත මත පොලිසිය විසින් පැමිණිල්ලක් සටහන් කර ගනු ලැබුවත් ඒ පිළිබඳව ක්‍රමවත් විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් රත්ගම නගරයේදී ප්‍රදේශවාසින් උද්ඝෝෂණයක්ද සිදු කරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස වගකිවයුතු බලධාරීන් ගෙන් පසුගියදා ඉල්ලා සිටියා.

මේ අතර පොලිස් නිළ ඇදුමින් සැරසි පැමිණ අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයින් දෙදෙනා ගෙන් එක් අයකුට සිදුකරනු ලැබු පහර දීමකින් ඔහු මියගිය බවත් එය වසන් කිරීමට අනෙක් ව්‍යාපාරිකයාද ඝාතනය කර ඇති බව දක්වමින් නිර්නාමික ලිපියක් පැහැර ගැනීමට ලක්වු එක් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඉකුත් සතියේ ලැබී තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වහාම විමර්ශනයක් අරඹන ලෙස දන්වමින් පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.