Thursday, May 16, 2024

General line - 0115112241

දෙවන ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණයත් සූදානමක්

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවන ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීම සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව එම මහාධිකරණය, අලුත්කඬේ මහාධිකරණ ශාලා අංක එකෙහි පිහිටුවනු ඇති. අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශිකාවක් සඳහන් කළේ මෙම විශේෂ මහාධිකරණය සඳහා විනිශ්චකාරවරුන් තිදෙනෙකු දැනටමත් නම් කර අවසන්ව ඇති බවයි.

දෙවන ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීම ප‍්‍රමාදවූයේ එය ස්ථාපිත කිරීමට සුදුසු ස්ථානයක් පිළිබද මතු වූ ගැටළුවක් හේතුවෙන් බව වාර්තා පළ වුණා. ඒ අනුවයි එම විශේෂ මහාධිකරණය අලුත්කඬේ මහාධිකරණ ශාලා අංක එකෙහි පිහිටුවීමට තීරණය කර ඇත්තේ. අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශිකාව සඳහන් කළේ දැන් ඉතිරිව ඇත්තේ එහි නාමපුවරුවට අධිකරණ සේවා කොමිසමෙන් අනුමැතිය ලබාගැනීම පමණක් බවයි.

අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකර අවසන් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු අධිකරණය ඉකුත් වසරේ අගෝස්තු මස 21 වැනිදා පිහිටවනු ලැබුවා. ඒ, විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතවීමෙන් පසුවයි.

දණ්ඩ නීති සංග‍්‍රහය යටතට ගැණෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණ සඳහා බලය හිමි වනවා. ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපළ අවභාවිතයට අදාළ පැමිණිලි මෙහිදි විභාග කරනු ඇති.