Saturday, May 18, 2024

General line - 0115112241

කොකේන් භාවිත කරන ඇමතිවරුන් ගැන "රන්ජන්" ගෙන් ඉඟියක්

දිනුක් හේවාවිතාරණ




කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද (18) ප්‍රකාශ කර සිටියා.

කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඟයන් මෙන්ම මෙරට ඉහළ රැකියා කරන ඇතැමුන්ද එම මත්ද්‍රව්‍ය භාවිත කරන බව සඳහන් කළා. පරීක්ෂණවලට බාධාවක් නිසා තමන් එම නම් හෙළි නොකරන බව ද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය  වර්ග 11ක් භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ රුධිර පරීක්ෂණයක් පෞද්ගලිකව කිරීමට වැයවන්නේ රුපියල් 4200ක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී තමන් රුධිර පරික්ෂාවක් සිදුකර එම වාර්තාව කතානායකවරයාට භාරදෙන බව කියා සිටියා. සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවශ්‍යම සෙසු මන්ත්‍රීවරුන් සිටී නම් ඔවුන්ට ද රුධිර වාර්තාවක් ලබාදිය හැකි බව කී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා එය අභියෝගයක් නොවන බව ද සඳහන් කර සිටියා. 

වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියන පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක් නියෝජනය කරන පක්ෂ නායකයෙක්ද කොකේන් භාවිත කරන ඇමතිවරු අතර සිටින බව කී අමාත්‍යවරයා මීගමුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බවට ද තොරතුරු ලැබී ඇතැයි ප්‍රකාශ කර සිටියා.

දේශපාලකයින් මෙන්ම ආගමික පූජකවරුන්ද මෙම මත්ද්‍රව්‍ය භාව කරන බවට තොරතුරු තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන දේශපාලනඥයින් තිදෙනෙකු එතනෝල් ජාවාරමට සම්බන්ධ බවත් මත් පෙති වර්ග ගෙන්වන ඇමති පුතුන් සිටින බවට වන තොරතුරුද තමන් සතු බව මෙහිදී කියා සිටියා.

කැබිනට් ඇමතිධූර හරහා කුඩු ව්‍යාපාර කර කොළඹින් තට්ටු නිවාස ගෙන සිටින අයත් සිටින බව කී රන්ජන් රාමනායක මහතා තමන්ට මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් විශ්වාස කළ හැක්කේ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු කිහිප දෙනෙක් පමණක් බව කියා සිටියා.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය දුටු විට ඔවුන් කුමන හෝ මත්ද්‍රව්‍යයක් ගෙන ඇත්ද යන සැකය තමාටත් ඇතිවූ බව කතානායකවරයා තමන්ට පැවසූ බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.