Saturday, May 4, 2024

General line - 0115112241

ජයසූරියගේ තහනම ගැන කි‍්‍රකට් ආයතනයේ අවධානය




සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සනත් ජයසූරියට එරෙහිව අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය පැනවූ තහනම පිළිබඳ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

එහි උප සභාපති රවීන් වික‍්‍රමරත්න පැවසුවේ කි‍්‍රකට් ආයයතනයට ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. සනත් ජයසුරිය මේ වනවිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට සම්බන්ධව කටයුතු නොකරන නමුත් ඔහු රට වෙනුවෙන් කළ සේවය සළකා මෙම තීරණය ගත් බව ඔහු කියාසිටියා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මෙම අදහස් පළ කළේ ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

සනත් ජයසූරියට ලබා දී ඇති දඬුවම සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා. 

සනත් ජයසූරියට කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධ සියළු කටයුතු වසර දෙකකට තහනම් කිරීමට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඊයේ තීරණය කළා. කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ සංග‍්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම ඊට හේතු වුණා. 

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් දූෂණ සිදුව ඇත්දැයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය සිදුකළ විමර්ශනයේදී ඊට අදාළ ලියකියවිලි ලබානොදීම හා ඒවා සඟවා තැබීම ජයසූරියට එරෙහි චෝදනා අතරට අයත්. 

කෙසේවෙතත් තමන්ට පැනවූ තරග තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සනත් ජයසූරිය පැවසුවේ දූෂණ චෝදනා හෝ තරග පාවාදිම් සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල වී නොමැති බවයි. සිය කී‍්‍රඩා ජීවිතය තුළ තමා මෙතෙක් උපරිම අවංක භාවයෙන් කී‍්‍රඩා කළ බව ජයසූරිය ප‍්‍රකාශ කළා. සෑම විටම තමාගේ රට ප‍්‍රධාන කර ගනිමින් කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දනය ඒකකය යටතේ කළ පරීක්‍ෂණවලදි තමා සතු සිම් කාඞ්පත සහ ජංගම දුරකතනය කඩිනමින් පරීක්‍ෂණ සඳහා ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇති බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)