Thursday, May 9, 2024

General line - 0115112241

අධිකරණ නියෝගයකින් මන්නාරම සමුහ මිනිවලේ කැනීම් කටයුතු නතර කරයි

මාධව කුලසූරිය -වවුනියාව




මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා අද (08) නියෝග කළ බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

ඔහු පැවසූවේ සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව ඊයේ (07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව අද (08) අදාළ තීරණය ගෙන ඇති බවයි.

අධිකරණ තීරණය අනුව කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමු අතර සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ජාවක් එළැඹෙන 20 වැනිදා හෝ ආසන්න දිනක පැවැත්වීමට නියමිත බව අධිකරණ වෛද්‍ය නිලධාරි රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ සාම්පලය හය සම්බන්ධ වාර්තාව  ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට යොමු කරන ලදී.

දත්ත වාර්තා අධ්‍යනයේදී පෙනී යන කරුණක් වන්නේ අදාළ සාම්පල ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් කාලසීම නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයින් පැවසූහ.

සමූහ මිනිවළ තුළින් ඊයේ (07) දිනය වන විට පරීක්ෂණ පැවැත්වු අතර මිනිවළ තුළින් මිනිස් සිරුරු 342 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 330 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර ඒ අතර ළමුන් 30 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතියි.