Sunday, May 19, 2024

General line - 0115112241

රටේ තරුණ පරපුර පෞද්ගලික අංශයේ රැකියා කෙරෙහි යොමු කිරීමට වැඩි අවධානයක් - ඇමති සාගල රත්නායක (PHOTOS)

ටී.කේ.මහින්ද - මාතර




ජාතික තරුණ ‍සේවා සභාව කාලයට අනූරූපව වෙනස් වෙමින් තරුණ පරපුරේ ජවය බවට වර්තමානයේ පත්ව ඇති බව වරාය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් පරිදි ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථාන හා කාර්යාල සංකීර්ණ තරුණ ආකර්ශනීය ස්ථාන බවට පත්කිරීමේ ජාතික වැඩ සටහන යටතේ නවීකරණය කරන ලද ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය තරුණ අයිතියට පත්කිරීම සදහා පසුගිය 16 වැනි දින මාතර මහ විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවති උත්සවයකට සහභාගි වෙමින්.

මිලියන 80 ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානය, දිස්ත්‍රික් කාර්යාලය, පළාත් කාර්යාලය, නිස්කෝ තරුණ සමූපාකාරය, දිස්ත්‍රික් තොරතුරු මධ්‍යස්ථානය ද මෙහි ස්ථාපිත කර තිබේ.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

" 1979 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව තරුණ තරුණියන්ගේ අනාගතය පිළිබඳව දර්ශනක් ඇතිව කටයුතු කළ අතර ජාතික තරුණ සේවා සභාවට ජීවයක් ලැබුණා. නැවතත් කාලයක් මේ ආයතනය කෙරෙහි අවධානය අඩු වුවත් ,වර්තමානයේ බොහෝ වෙනස්කම් ඇති කරමින් තරුණ සේවා සභාව ඉහළට ඔසවා තැබීමට පියවර ගෙන තිබේ. යූත් විත් ටැලන්ට්, ගමට කෝටියක් වැනි වැඩ සටහන් හදුන්වා දුන්නා. යොවුන් පාර්ලිමේන්තුව ශක්තිමත් කළා. ජාතික පාර්ලිමේන්තුව මෙන් සජීවී පාර්ලිමේන්තුවක් බවට මෙය පත් වුණා. එහෙත් යෞවන සමාජ වටා තරුණයන් ඒකරාශී කර ගැනීම වර්තමානයේ අභීයෝගයක් බවට පත්ව තිබෙනවා. එයට හේතු වී තිබෙන්නේ රට දියුණුවන වෙමින් තාක්ෂණය ලගා වන විට තරුණයන් එකතුවීම අඩු වීමයි. 

ෆේස් බුක් ඇතුළු සමාජ ජාලා මේ සදහා බලපෑම් ඇති කර තිබෙනවා. තාක්ෂණයක් සමග මේ වැඩ පිළිවල ශක්තිමත් කරමින් අනාගතයට හැඩගැසීමට  අප කටයුතු කළ යුතුයි. තරුණ අදහස් ලබා ගනිමින් තවදුරටත් තරුණ සේවා සභාව නවීකරණය කිරීමට කාලය එළඹ තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා තරම් දර්ශනයක් තිබෙන නායකයෙක් තවමත් අපට හමුවී නැහැ. එතුමාගේ අත්දැකීම් තරුණ කටයුතු,අධ්‍යාපන පමණක් නොවෙයි. මේ රටට අනාගතයක් දෙන්නනම් මේ රටේ තරුණයන්ට අනාගතයක් දිය යුතුයි යන්න එතුමාගේ දැක්ම බවට පත්ව තිබෙනවා.

වර්තමානයේ වෘත්තීය පුහුණුව ලබන තරුණයන් වෘත්තීය පුහුණුවෙන් පසුව රැකියාවට යොමුවන්නේ කිදෙනාද? බොහෝ දෙනා විශ්‍රාම වැටුප ගැන හිතනවා. එහෙත් පුද්ගලික අංශයේ රැකියාවක මා වසර පහක කාලයක් නිරත වුණා. එදා කැපවීම තුළ උසස්වීම ලැබුණා. දේශපාලන මාරුවීම් ලැබුණෙ නැහැ. විශ්‍රාම වැටුපක් නැති වුණාට මා ඉන් ඉවත්වීමේ දී හොද මුදලක් මට ලැබුණා. මගේ ජිවිතය හදා ගන්න එය ශක්තියක් බවට පත් වුණා. ඒ නිසා තරුණයන් තුළ ආකල්ප වෙනසක් අවශ්‍ය වෙනවා.ස්වයං රැකියාවට යොමුවෙමින් තවත් කිහිපදෙනෙකුට රැකියා දෙන පුද්ගලයන් බිහිනොවුණහොත් රටක් ලෙස ඉදිරියට යන්නට හැකියාවක් නැහැ. ව්‍යවසායකයන්ට ඉන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩ සටහනේ ණය තරුණයන්ට ලබා දෙනවා.එය තරුණ පරපුරට විශාල ශක්තියක් බවට පත්වෙනවා.  රැකියා ලොවට ඇතුල් වෙන දරුවන්ට ව්‍යාපාර ආරම්භ කරන තරුණ,තරුණියන්ට අවශ්‍ය පුහුණුව,තාක්ෂණික දැනුම පමණක් නොව ආකල්ප වෙනසක් ඇති කිරීමේ වැඩ පිළිවලක් ජාතික තරුණ සේවා සභාව මගින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියා."

මෙහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මෙසේ ප්‍රකාශ කර සිටියා, 

" අපේ රටේ වෘත්තීය අධ්‍යාපනය ලබන ප්‍රමාණය ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට දිවයින පුරා මධ්‍යස්ථාන නවීකරණය කරනවා.තරුණ තරුණියන්ට රැකියා ලොවට පිවිසීමටකඩිනමින් පියවර අප ගන්නවා. මේ සදහා අප ආයතන උත්සාහ ගත්ත ද තවමත් තරුණ පරපුර අපේක්ෂා කරන්නේ රාජ්‍ය අංශයේ රැකියා සදහා යොමු වීමටයි. මෙය බරපතල ඛේදවාචකයක් බවට පත්ව තිබේ. ඇමරිකාව,කොරියාව,සිංගප්පුරුව කරන්නට ශ්‍රී ලංකාව උත්සාහ කරනවා.එහෙත් එම රටවල් මේ තත්වයට පත් වූයේ පැය 12 ක් 14 ක් නිපුනතාවයක් ඇති පුද්ගලයන් පුද්ගලික අංශයේ සේවාවන් ලබා දීම තුළින් පමණයි. අපේ රටේ තරුණයන් පවා කොරියාවට ගියහොත් පැය 12 ක් වැඩ කරනවා.

නිදහසින් පසුව රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 ක් පමණ ඉන්නවා. නමුත් තවමත් අපේ රටේ තරුණයන් සොයන්නේ රාජ්‍ය අංශයේ රැකියාවන්. එයට ‍හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි සුරක්ෂිත තාවය දෙවැන්න විශ්‍රාම වැටුපක් හිමිවීමයි. තෙවැනි කාරණාව තමයි තරුණයන් හිතාගෙන ඉන්නවා රාජ්‍ය සේවයට ගියහම නිකන් ඉන්න පුළුවන් කියලා. මෙය අපේ රටේ බරපතලම කාරණාව බවට පත්වෙනවා. තමන්ට පහසුවෙන් වැටුප අරගෙන තමන්ගේ අනෙත් කටයුතු කරන්න පුළුවන් කියලා. හැබැයි එහෙම හිතුවොත් කවදාවත් අපට මේ රට දියුණුවූ ජාතියක් බවට පත්කරන්න ඉඩක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා ජාතික තරුණ සේවා සභාව වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට මූලිකත්වයක් ලබා දෙනවා. පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කරමින් පාඨමාලා නිසි ප්‍රමිතියකින් යුතුව වෘත්තීය පුහුණුව හැදෑරීමේ අවස්ථාව තරුණ ,තරුණියන්ට ලබා දෙනවා.පුහුණු අවසානයේ රැකියාවන්ට යොමු කිරීමේ කඩිනම් වැඩ පිළිවලක් ආරම්භ කිරීමට ජාතික තරුණ සේවා සභාව පියවර ගෙන තිබෙනවා".

මෙදින මත් නිවාරණ පාගමනක් ද මාතර නගරයෙන් ආරම්භ වී මාතර පුහුණු මධ්‍යස්ථානය කරා පැමිණි අතර තරුණ,තරුණියන් විශාල පිරිසක් පාගමනට එක් වූහ.