Saturday, May 18, 2024

General line - 0115112241

ජාතික පාසල් විදුහල්පතිවරුන් පත්කිරීම ප්‍රමාදවීමෙන් පාසල් පරිපාලනය අනතුරේ




පාසල් පද්ධතියේ විදුහල්පති පුරප්පාඩු පිරවිම පිණිස පසුගිය වකවානුව තුළ දේශපාලන භේදයකින් තොරව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් නිශ්චිත ලකුණු දීමේ පටිපාටි අනුගමන කරමින් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරු පත්කිරීම පිණිස උත්සහ කලද රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මේ දක්වා එම ලැයිස්තුව සඳහා අනුමැතිය ලබාදී නොමැති බව එක්සත් ස්වාධීන විදුහල්පති සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා කොමිෂමේ අනුමැතියට යටත්ව ජාතික පාසල් සදහා විදුහල්පතිවරු පත් කර ගැනීම සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදුකර ඇති නමුත් විවිධ හේතු කාරනා ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දිගින් දිගටම මේ සඳහා අනුමැතිය ලබාදීම පමා කිරීම තුලින් ජාතික පාසල් 302ක පරිපාලනය කඩා වැටීමට ලක්වීමේ අවධානමක් මතුව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

විදුහල්වලට පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන් ප්‍රමාණවත් නැත්නම් දෙවැනි හෝ තුන්වැනි ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගෙන් මෙම පුරප්පාඩු පිරවිම කල යුතු බවත් එසේත් නොමැතිනම් සම්මුඛ පරීක්ෂණ ලකුණු ලබාගත් විදුහල්පතිවරුන් පාසල්වලට පත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ස්වාධීන විදුහල්පති සංගමය දැනුම්දී සිටියි. එසේ සිදුකිරීමට අපොහොසත් වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹීමට සිදුවන බව ඔවුන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී සිටියි.