Saturday, May 18, 2024

General line - 0115112241

ප‍්‍රභාකරන් වනය රකිද්දී දේශපාලනඥයින් විනාශ කළා - ජනපති

සජිත් තිලකරත්න/තරංග රුක්ෂාන්




යුද්ධය කි‍්‍රයාත්මක නොවූ රටේ සෙසු ප‍්‍රදේශවල වන පද්ධතිය දේශපාලඥයින් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශ කර දැමූ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ ඉතිරිව ඇති සියයට 28ක වන ඝණත්වයෙන් වැඩි ප‍්‍රමාණයක් පවතින්නේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බවයි. එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදය හේතුවෙන් එම වනාන්තර ආරක්ෂා වූ බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියා සිටියේ. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දිඹුලාගල ප‍්‍රදේශයේ පැවැති ජාත්‍යන්තර වනාන්තර සැමරුම් දින උත්සවයට එක්වෙමින්. රට තුළ දැනට පවත්නා වන ඝණත්වය ආරක්ෂා කර ගැනීමට සියලූ දෙනා එක්ව කැප නොවුන හොත් තවත් වසර 15ක් යන විට රටට වනාන්තර අහිමි වී යන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඉදිරි වසර 03 තුළදී ඉටු කර ගැනීමට අපේක්ෂා කරන රටේ වන ඝණත්වය සියයට 32ක් දක්වා ඉහළ නංවා ගැනීමට නම් හෙක්ටයාර් එක් ලක්ෂ හතලිස් අට දහසක් අලූතින් වැවිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව ද සිංහරාජය සහ කන්නෙලිය වනාන්තර යා කරමින් අලූතින් වනාන්තර කොරිඩෝවක් නිර්මාණය කරමින් සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන්. අලූතින් පැළ 25,000ක් සිටුවීම නෙත් එෆ් එම් රේඩියෝවේ අරමුණයි. ජාතික වශයෙන් වැදගත් මෙම කර්තව්‍යයේ කටයුතු මේවනවිට ද සිදුවන අතර ඔබට ද ඒ සඳහා තවදුරටත් දායක විය හැකියි.