Monday, May 20, 2024

General line - 0115112241

විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කිසිවෙකුට ලබාදී නැහැ : ජනපති මහනුවරදී කියයි

දිනුක් හේවාවිතාරණ




ගත වූ වසර හතරක කාලයේදී එනම් තමා බලයට පත්වූ පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුට දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අද (23) පවසා සිටියා.

මෙම කාලය තුළ කිසිදු පුද්ගලයකුට හෝ සංවිධානයකට විල්පත්තු රක්ෂිතයේ ඉඩම් ලබාදී නැති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීම වෙනුවෙන් මහනුවර දළදා මාළිගාව අභියස පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්‍ෂණය කරන ලෙස ඉල්ලමින් යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත්කිරීම හා එය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාරදීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුකෙරුණා.

ජනාධිපතිවරයා විසින් එය මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හනා සිහර් හට භාර දුන්නේ ත්‍රෛතිකායික මහ නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී පැවති ජාතික මහෝත්සවයේදී.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ආණ්ඩුකාරවරුන් විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

පසුගිය 16 වැනිදා සිට ඊයේ (22) දිනය දක්වා ත්‍රිපිටකාභි වන්දනා සතියක්ද ප්‍රකාශයට පත්කර තිබුනා.