Saturday, May 18, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දවස දැනුම් දෙයි




2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ  ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත සඳහන් කරනවා.

සෑම වසරකම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දින පවත්වාගෙන යාමට සහ එමඟින් ප්‍රමාදයකින් තොරව නිසිකලට සියලු අපේක්ෂකයින් වෙත විභාග ප්‍රතිඵල ලබාදීමට පියවර ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පසුගිය වසර කිහිපය තුළ විශේෂ අවධානය යොමු කළ බවද පෙන්වා දෙනවා.

සෑම වසරකම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරකම ඔක්තෝබර් මස 05 වැනි දින ලබාදීමට ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල  මාර්තු 28 දින  ලබාදීමට ද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 දින ලබාදීමට ද  මේ වනවිට පියවර ගෙන අවසන් බවද පෙන්වා දෙනවා.  

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් 422,850ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 233,791 ක්ද අයදුම්කර ඇති අතර,  ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 656,641ක් වනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනි දා සිට 12 වැනි දා තෙක් දිවයින පුරා මධ්‍යස්ථාන 4661 ක මෙම විභාගය පැවැත්වුණා. පසුගිය වසරවල  මෙන්ම මෙවර ද සියලු අපේක්ෂකයින්ගේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු යොදා ඇති අතර www.donets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද සලසා තිබෙනවා.