Saturday, May 18, 2024

General line - 0115112241

හිටපු DIG නාලක ද සිල්වාට ඇප ලබා දෙනවාද නැද්ද? තීරණය දෙන දිනය ගැන අධිකරණයේදී ප්‍රකාශයක්

දිනුක් හේවාවිතාරණ




ප‍්‍රභූවරුන් පිරිසක ඝාතන සැලසුම සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ රඳවා සිටින ලබන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ ඇප අයදුම්පත සම්බන්ධයෙන් වන තීරණය ලබන අපේ‍්‍රල් 09 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (26)  දැනුම් දුන්නා. ඒ දක්වා සැකකරු තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ප‍්‍රභූවරුන් පිරිසක ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ පසුවන හිටපු නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා අධිකරණයට ඉදිරිපත් නොකළ බන්ධනාගාර නිලධාරීන් ඔහු රෝගීවීම නිසා රෝහල් ගත කොට ඇතැයි දැනුම් දෙමින් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් මේ වන තෙක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර නැති බවත් මෙම සිද්ධියට අදාළව ඔහු සෑහෙන කාලයක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමෙන් සැකකරුගේ මුලික අයිතිවාසාකම් උල්ලංඝනය වී ඇති බවත් දැනුම් දෙනු ලැබුවා.

දැනුම් දෙන ඔනෑම අවස්ථාවක සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටිමට පොරොන්දු වන බවත් එයට හැකිවන ආකාරයේ සුදුසු බැදුම්කරයක් මත සැකකරු මුදා හරින ලෙසත් නීතීඥ අජිත් පතිරණ  අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත‍්‍රාත්වරයා සැකකාර හිටපු නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා  ලබන අපේ‍්‍රල් 09 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට නියම කළා.