Thursday, May 16, 2024

General line - 0115112241

මධුෂ් පිටුවහල් කිරීමේ තීරණය මැයි 02 දක්වා කල් යයි

දිනුක් හේවාවිතාරණ




ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන සමරසිංහආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් "මාකඳුරේ මධුෂ්" ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත් නොකළ ඩුබායි අධිකරණය සිය තීන්දුව මැයි මස 02 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

තමා ඩුබායි හි ආයෝජකයෙක් බවත් විශාල මුදලක් එරට ව්‍යාපාර සඳහා ආයෝජනය කර ඇති බව දක්වමින් මාකඳුරේ මධුෂ් විසින් පසුගිය මාර්තු මාසයේදී තමාව එරටින් පිටුවහල් කිරීම වලක්වාලන්නැයි ඉල්ලා නීතිඥවරුන් මාර්ගයෙන් ඩුබායි අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. මේ සඳහා ඔහුගේ අනියම් බිරිඳ වන තිළිණි ශානිකා නමැත්තිය සියළු කටයුතු සම්බන්ධීකරණය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඩුබායි හි අල් ‍රෆා ප්‍රදේශයේ මැරිනා බීච්හි පිහිටි සුපිරි තරු පන්තියේ හෝටලයක් වන ජුමෙයිරා බීච් හොටෙල්හිදී සිය අනියම් බිරිඳගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් සුපිරි සාදයක් පවත්වමින් සිටියදී එරට පොලිසිය විසින් මාකඳුරේ මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 04 වෙනිදායි.

ඒ ලෙස ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිසගෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙක් මේ දක්වා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එලෙස පිටුවහල් කරන ලද පිරිස අතරට ගායක නදිමාල් පෙරේරා සහ රයන් වෑන්රොවෙන් ද ඇතුලත්.