Thursday, May 16, 2024

General line - 0115112241

බෝම්බකරු ඉලක්කය වෙනස් කළ හැටි ත්‍රීරෝද රථ රියදුරා හෙළිකරයි

හේමන්ත කහවලගේ




දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බය පුපුරුවා ගත් බෝම්බකරු සමග සමීප සබඳතා පැවැත් වූ ති‍්‍රරෝද රථ රියැදුරෙකු අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් බසීර් මොහොමඞ් ෆස්හාන් නමැති පුද්ගලයෙක්.

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බය පුපුරුවා ගැනීමට පෙර බෝම්බකරු තමන් සමග සිදු කළ කතා බහ පිළිබඳව සැකකාර ති‍්‍රරෝද රථ රියදුරා පොලීසිය වෙත හෙළිදරව්වක් සිදු කර තිබෙනවා. එහිදී බෝම්බකරුගේ ප‍්‍රධාන ඉලක්කය ටාජ් සමුද්‍රා හෝටලය වූ බවත් එම අවස්ථාවේදී බෝම්බය පුපුරුවා ගැනීමට නොහැකි වූ බවත් බෝම්බකරු මෙම ති‍්‍රරෝද රථ රියැදුරාට පවසා තිබෙනවා. ඒ එම අවස්ථාවේදී බෝම්බය කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන්. 

පසුව බෝම්බකරුගේ මීලග ඉලක්කය දෙහිවල ප‍්‍රදේශයේ පිහිටි සාන්ත මේරි දේවස්ථානය වූ බව මෙම තී‍්‍රරෝද රථ රියැදුරා පොලීසිය කළ ප‍්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙනවා. තමන් එම දේවස්ථානයේදී බෝම්බය පුපුරුවා ගන්නා බවද බෝම්බකරු තමන්ට පැවසූ බවයි සැකකාර ති‍්‍රරෝද රථ රියදුරා සඳහන් කර ඇත්තේ. බෝම්බකරු එම දේවස්ථානය වෙත ගියද පොලිස් නිලධාරීන් සිටීම නිසා ඔහු යළි සිය ඉලක්කය වෙනස් කළ බව සැකකාර ති‍්‍රරෝද රථ රියැදුරා පොලීසියට ප‍්‍රකාශ කර තිබෙනවා. 

දෙහිවල පිහිටි එම දේවස්ථානයේ පඩුරු පෙට්ටිය ඊට දින කිහිපයකට පෙර කිසියම් පිරිසක් විසින් කඩා ඇති අතර එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදා සිටීම නිසා බෝම්බකරුගේ එම ඉලක්කය ද ව්‍යර්ථ වී තිබෙනවා. අනතුරුව බෝම්බකරු දෙහිවල පිහිටි ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට ගොස් එම බෝම්බය පුපුරුවාගත් බවයි සැකකාර ති‍්‍රරෝද රථ රියැදුරා පොලිසියට පවසා ඇත්තේ.