Wednesday, May 15, 2024

General line - 0115112241

සිය දරුවන් ද බිල්ලට ගනිමින් ත්‍රස්තවාදීන් කරන ක්‍රියා මුස්ලිම් සංවිධාන පිළිකුල් කරයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




සිත්පිත් නැති අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් සිය දරුවන් ද බිල්ලට ගනිමින් මෙම ම්ලේච්ඡ ප‍්‍රහාර සිදු කිරීම කිසිදා අනුමත නොකරන බව මුස්ලිම් උලමා සංවිධාන පවසනවා.

ඉකුත් පාස්කු ඉරිදා දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම අන්තවාදී ම්ලේච්ඡ ප‍්‍රහාරවලින් දරුවන් 45 දෙනෙකුද මියගියා.

සයින්දුමරුදු ප‍්‍රදේශයේ නිවසකදී මෙම අන්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගත්තේ සිය දරුවන් 06දෙනෙකුට ද දිවි අහිමි කරමින්.

දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ පිහිටි නිවසක සිටි අන්තවාදී කල්ලියේ ගැබිණි කාන්තාවක් සිය දරුවන් දෙදෙනෙකු සමග බෝම්බයක් පුපුරවා ගත්තේ ත‍්‍රස්තවාදයට ආගම, ජාතිය සහ ආදරය අදාළ නොවන බව ලොවට යළි යළිත් පසක් කරමින්. 

මෙවැනි සාහසික කි‍්‍රයාවක් කිරීමට එම අන්තවාදී කණ්ඩායම් සාමාජිකයින්ට සිත්පිත් පහළ වීම අදහාගත නොහැකි බවයි ශ‍්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ දේශක ටී. අහමඞ් නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ අතර සයින්දමරුදු ප‍්‍රදේශයේදී අන්තවාදීන් විසින් බෝම්බ පුපුරවා ගැනීමට පෙර එහි සිටි තිදෙනෙකු අන්තර්ජාලය වෙත වීඩියෝවක් ද නිකුත් කර තිබෙනවා. ඒ, සිය සංවිධානය වෙනුවෙන් තමන් දිවි පූජා කිරීමට  ඕනැම මොහොතක සූදානම් බව පවසමින්. 

එම වීඩියෝවේ එම අන්තවාදී පුද්ගලයින් තිදෙනා අදහස් පළ කරන අතරතුර පසුබිමින් ඔවුන්ගේ දරුවන්  බියෙන් හඬනා අයුරු ද සටහන්ව තිබෙනවා. එක් අන්තවාදී පුද්ගලයෙකුගේ උකුල මත තවත් දරුවෙකු වාඩි වී සිටින අතර එම අන්තවාදියාගේ අතෙහි ගිනි අවියක්ද තිබෙන අයුරු මෙම වීඩියෝවෙහි දැකගත හැකියි.

පියා දරුවන්ගේ ජීවිතය ද බිලි ගනිමින් සිදු කිරීමට යන මෙම සාහසික කි‍්‍රයාවෙන් පසක් වන්නේ ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වයයි. 

මෙය ඉස්ලාම් ධර්මයට පමණක් නොව සමස්ත මිනිස් වර්ගයාටම එරෙහිව මෙම අන්වාදීන් විසින් සිදු කරන පිළිකුල් කි‍්‍රයාවක් බවයි සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නූරාමිත් මවුලවිතුමන් නෙත් නිවුස් වෙත පැවසුවේ.