Thursday, May 2, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරකයින් හඳුනා ගැනේ (PHOTOS)




ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා කොළඹ සහ මඩකලපුව ප්‍රදේශයේ ස්ථාන 08ක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 08ක් සඳහා පැමිණි බෝම්බකරුවන් හඳුනා ගැනීමට හැකිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරනවා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ බෝම්බකරු මට්ටක්කුලිය මධ්‍යම පාරේ පදිංචි අලාහුදින් අහමඩ් මුවාත් ලෙස හදුනාගෙන ඇති අතර එම ප්‍රහාරය සදහා ආධාර අනුබල දීමේ චෝදනාවට ඔහුගේ සොහොයුරා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා. 

කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කර ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි අච්චි මොහොමද්දු මොහොමද්දු හස්තුන් නමැති අයෙක් බවයි හෙළිවී ඇත්තේ. මෙම බෝම්බ ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිද සාරා නම් වන අතර පසුගියදා පොලිසිය විසින් මාධ්‍යට නිකුත් කරන ලද ජයාරූප අතර ඇයගේ ජයරුපය ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. කෙසේ නමුත් ඉකුත් සිකුරාදා කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුමේදී නිවසක් තුල සිදුවූ පිපිරීමෙන් මෙම සාරා මිය යන්නට ඇති බව විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

කොළඹ කිංග්ස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කල බෝම්බකරු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුගේ බිරිද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා.

ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සඳහා බෝම්බකරුවන් දෙදෙනෙක් පැමිණ ඇති අතර ඉන් එක් ත්‍රස්තවාදියෙක් වන්නේ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ය. ඔහුගේ බිරිද සහ දියණිය සයින්දමරදු හිදී පුපුරුවා ගනු ලැබූ නිවසේ සිට ආරක්ෂක අංශ විසින් බේරා ගත් අතර මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සහරාන්ගේ පියා සහ සහෝදරයින් දෙදෙනා සයින්දමරදු හි නිවසේ තුලවූ පිපිරීමෙන් මිය යන්නට ඇති බව විමර්ශන නිලධාරීන් විශ්වාස කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.

මේ අතර ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි අනෙක් සැකකරු වන්නේ මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් නම් අය වන අතර ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. එමෙන්ම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ද ඔහුගේ එක් සහෝදරයෙක් වන අතර ඔහු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාන් අහමඩ්ය. මොවුන් දෙදෙනාගේ පියා සහ සහෝදරයින් දෙදෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ නිවසක සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ෆාතිමා ඉල්හාම් යන කාන්තාව වන අතර ඇය  ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කරන ලද මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ බිරිඳ බවට හඳුනාගෙන තිබෙනවා.

මඩකලපුව සියොන් දේවස්ථානය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරු මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු වාලච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වනවා.

දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය තුල බෝම්බය පුපුරුවාගෙන මියගිය බෝම්බකරු වන්නේ අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් යන අයයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මෙම බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ පුද්ගලයින්ට සහ එම සංවිධානයට අයත් දේපල රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී එම දේපල සහ බැංකු ගිණුම් රාජ සන්තක කිරීමේ නෛතික ක්‍රියාවලියන් ඇරඹීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව ඔහු ප්‍රකාශ කර සිටියා.