Wednesday, May 15, 2024

General line - 0115112241

අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා 27 දක්වා රිමාන්ඩ් කෙරේ

එම්.එම්.පි.ජි. පෙරේරා / උපාලි ආනන්ද




තවුහීද් ජමාද් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සිය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (13) නියෝග කරනු ලැබුවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ උදය මාවත, අනුරාධපුර ලිපිනයේ පදිංචි විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු වන මොහොමඩ් රිස්වි මහරූෆ් නැමත්තායි.

සැකකරු අධිකරණයට ඉදිරිපත්කල අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.එම්.කේ.යසරත්න කියා සිටියේ ජනමාධ්‍යවේදියෙකු බව කියන සැකකරු ත්‍රස්තවාදය වැලක්වීමේ 379 දරණ පනතේ 48 දරණ (තාවකාලික) විදිවිදානයට අනුව අධිකරණයට ඉදිරිපත් කල බවයි.

සැකකරුට අයත් බව කියන අනුරාධපුර උදය මාවතේ පිහිටි නිවස යුද හමුදාව හා පොලිසිය එක්ව පසුගිය 12 වෙනිදා සිදුකල පුර්ණ පරික්ෂාවකදී එහි තිබී සැකකටයුතු සංයුක්ත තැටි 326 ප්‍රමාණයක් සොයාගත් බවත් එම සංයුක්ත තැටි අහඹු ලෙස සිදුකල පරික්ෂාවේදි තවුහිද් ජමාන් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන හා විවිධ ක්‍රියාකාරකම් සහිත විඩියෝ පට 90ක පමණ ප්‍රමාණයක් හමුවූ බව උප පොලිස් පරික්ෂකවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එමෙන්ම සැකකරු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවදුරටත් සිදුවන බැවින් ඔහුට ඇප ලබාදීමට තරයේ විරුද්ධවන බව කි උප පොලිස් පරික්ෂකවරයා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඒ අනුව සැකකරුව මේ මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.