Wednesday, May 15, 2024

General line - 0115112241

ගැටුම් ඇතිකර මාතෘභූමියට ද්‍රෝහි නොවන්නැයි කථානායක ඉල්ලයි




ජාතිවාදී හෝ ආගම්වාදී ක්‍රියා එකහෙළා ප්‍රතික්ෂේප කරන්නැයි කථානායක කරූ ජයසූරිය මහතා සියලු ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. කථානායකවරයා මෙම ඉල්ලීම කරන්නේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරකම් සහ සාමයට හානිකර ප්‍රචාරණයන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්. 

සාමය ඇති කිරීමට කැපවිය යුතු බවට සියලු ආගමික නායකයින් දැන් එකම මතයකට පැමිණ සිටින බව කථානායකවරයා සිහිපත් කරනවා. එසේ තිබියදී ඊට පටහැනිව ජාතීවාදීව හෝ ආගම්වාදීව ක්‍රියා කරන්නන් සහ ඔවුන්ට සහය දෙන්නන් මාතෘභූමියට ද්‍රෝහි වන්නන් බවයි කථානායකවරයා පෙන්වා දෙන්නේ. 

රටතුළ ගිනි ඇවිලවීමට උත්සාහ දරන ජාතීවාදීන් හා ආගම්වාදීන්ගේ ද ඉකුත්දා මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේද කිසිදු වෙනසක් නොමැති බවද කථානායකවරයා පවසනවා. ඒ දෙපිරිසම පිටුපස සිටින්නේ පටු අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දරන දේශිය හෝ විදේශිය කුරිරු බලවේගයන් බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ. කිසිවෙකු එවැනි බලවේග වල ඉත්තන් නොවිය යුතු බවද ජාතීවාදීව හෝ ආගම්වාදීව ක්‍රියා කරන්නන් සහ ඔවුන්ට සහය දෙන්නන් ඉක්මනින්ම නීතිය හමුවට පමුණුවා දඬුවම් කලයුතු බවද කථානායකවරයා අවධාරණය කරනවා.