Saturday, May 18, 2024

General line - 0115112241

වෙසක් දිනයට නිදහස් වන රැඳවූවන්ගේ ලැයිස්තුවේ ඥානසාර හිමියන් නොමැති බව හෙළිවේ

නිශාන් ද සිල්වා




මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නිර්දේශිත සිරකරුවන්ගේ ලැයිස්තුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නම නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

සිරදඩුමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට රදවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේයි. ඉකුත් දිනවල උන්වහන්සේගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුම පැමිණ ඇති අතර ඔවුන් කියාසිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කළ යුතු බවයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඊට පෙරද අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ඉදිරිපත් වුණා.

කෙසේවෙතත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදු සමාව ලබාදීමට අත්සන් කර ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරදඩුවම් විදින සිරකරුවන්, වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් සහ සුළු වැරදි සදහා දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් සදහා පමණක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එම ලේඛණයට අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නම නොමැති බව එම ආරංචි සදහන් කළා. 

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නිර්දේශිත සිරකරුවන් ගණන 762 දෙදෙනෙක්. ජනාධිපති පොදු සමාව යටතේ එකවර මුදා හැරෙන වැඩිම සිරකරුවන් ගණනද මෙයයි. කාන්තාවන් 26 දෙනෙකු ද ඒ අතර වනවා. මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත කර සිටින අනෙකුත් රැදවූවන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට මෙවර ද දින දෙකක් හිමි වනු ඇති. 

ඒ ලබන 19 සහ 20 යන දෙදින තුළයි. එම දින දෙකේදී පෙරවරු නවයේ සිට පස්වරු 4 දක්වා රැදවුවන්ගේ ඥාතීන්ට එම අවස්ථාව උදා වනවා.