Saturday, May 18, 2024

General line - 0115112241

තවුහිද් ජමාද් සමග සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

අශෝක එරමිනිගම්මන




ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් දෙදෙනෙකු හොරොව්පතාන පත්තෑව වීරචෝලේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කැබිතිගොල්ලෑව විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් සහ හොරොව්පතාන පොලීසිය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. මෙම සැකකරුවන් දෙදෙනා එම සංවිධානයේ නායකයා ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් සමග කොළඹට පැමිණ ත‍්‍රස්ත ප‍්‍රහාරයන් සැලසුම් කර ඇති බවද අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සහරාන් හෂීම්  සහ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ‍්‍රහිම් අන්සාර් විසින් හොරොව්පතාන පත්තෑව් ප‍්‍රදේශයේ පිහිටි ජාතික තව්හිද් ජමාද් පල්ලිය ඉදි කර මෙම පුද්ගලයින් දෙදෙනාට භාර දී ඇති බව අනාවරණ වි තිබෙනවා. අද දිනයේ රැඳවුම් නියෝග ලබා ගෙන ඔවුන් දෙදෙනාගෙන් තවදුරටත් ප‍්‍රශ්ණ කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි හොරොව්පතාන පොලීසිය පැවසුවේ.

මේ අතර ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ බව කියන මහනුවර අරුප්පල ප‍්‍රදේශයේ දෙමහල් නිවසක් ඊයේ සොයා ගැනුණා. මෙම සංවිධානයේ සාමාජිකයින් වරකට 08දෙනෙකු පමණ මෙම ස්ථානයේ ලැගුම් ගෙන දේශනා පවත්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ. දැනට අත්අඩංගුවේ පසුවන එම සංවිධානයේ සාමාජිකයින්ගෙන් සිදු කෙරුණු ප‍්‍රශ්ණ කිරීම්වලට අනුව මෙම නිවස සොයා ගෙන තිබෙනවා. 

මේ අතර ශ‍්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානයේ මාතලේ වරකාමුල ශාඛාවේ සභාපති ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයෙකු ද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මාතලේ රෝහලේ සේවයේ නිරත සුළු සේවකයෙකු බවයි පොලීසිය පැවසුවේ. ඔහු රැුඳී සිටි කාමරයේ තිබී ශ‍්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානයේ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි 48ක් ද සොයා ගෙන තිබෙනවා.