Sunday, May 19, 2024

General line - 0115112241

"මූලධර්මවාදයට ශ‍්‍රී ලංකාවේ කිසිදු ඉඩක් නැහැ"




මූලධර්මවාදයට ශ‍්‍රී ලංකාවේ කිසිදු ඉඩක් නැතැයි දැන් තහවුරු වෙමින් තිබෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

මූලධර්මවාදී ඇතැම් භාවිතයන් වළක්වාලීම සඳහා නීති සම්පාදන කටයුතුවලදී ඉස්ලාම් ආගමික නායකයින්ගෙන් සහ ජන නායකයින්ගෙන් ලැබෙන එකඟත්වය ද ඊට උදාහරණයක් බවයි ප‍්‍රකාශ කෙරුණේ.

පාර්ලිමේන්තුවේ සියලූ ආංශික අධීක්ෂණ කාරක සභා වෙනුවෙන් සියලූ රට වැසියන් අමතා නිකුත් කළ නිවේදනයක කථානායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා. 

බිය ගන්වන සුළු අසත්‍ය ප‍්‍රකාශ නොසලකා මෙවර වෙසක් මංගල්‍ය රට පුරාම ඉහළ උනන්දුවකින් සැමරීම පිළිබඳ සතුටු වන බවද මෙම නිවේදනයේ සඳහන්. එම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සුපුරුදු දෛනික කටයුතු සහ දරුවන්ගේ පාසල් ගමන් ද නොපැකිලිව සිදු කරන ලෙස කථානායකවරයා සියලූ රට වැසියන්ගෙන් ඉල්ලීමක් ද කරනවා. 

කතෝලික හා මුස්ලිම් ප‍්‍රජාව ද වෙසක් සැමරීමට එක්ව සිටීම මෙවර වෙසක් මංගල්‍යයේ දී ඉස්මතු වූ තවත් විශේෂිත තත්ත්වයක් බවයි කථානායකවරයා පෙන්වා දෙන්නේ. මෙම සහෝදරත්වයේ බැඳීම, ගෞරවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ දැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොදිය යුතු බවද කථානායකවරයා අවධාරණය කරනවා.