Friday, May 3, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමෙන්තු කටයුතු අමාත්‍යංශයට අයත් රුපියල් දෙලක්‍ෂයකට අධික මුදලක් වංක අන්දමින් සිය ප්‍රයෝජයට ගැනීමේ සිද්ධියකට අදාළව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිසියට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

2010 සහ 2011 වසරක කාලය තුළ අශොක් අබේසිංහ විසින් රජයේ මුදල් වංක අන්දමින් සිය ප්‍රයෝජයට ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ගොනු අධ්‍යනය කිරීමෙන් අනතුරුව නීතීපතිවරයා විසින් අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට, කුරුණෑගල විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැහැර පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාට එලෙස නියම කර ඇති බව සදහන්.

නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ලිවේරාගේ උපදෙස් මත පොලිසියට අදාළ උපදෙස් ලබාදුන් බව ජේෂ්ඨ රජයේ නීතීඥ නිරාෂා ජයරත්න මෙනවිය පැවසුවා.

පාර්ලිමෙන්තු කටයුතු අමාත්‍යංශයට අයත් මුදල් අමාත්‍යවරයා විසින් වංක අන්දමින් සිය ප්‍රයෝජයට ගෙන ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කළ පොලිසියට මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇත.

ඒ අනුව අදාළ විමර්ශන ගොනු පරීක්‍ෂාවට ලක් කළ නීතිපතිවරයා අශෝක් අබේසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පොදු දේපළ පනතේ 05 (01) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකොට ඇති බවට අනාවරණය වන බව සඳහන් කොට ඇත.

ඒ අනුව අදාළ සිද්ධියේ සැකකරුවකු වන අශෝක් අබේසිංහ ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති නීතීපතිවරයා රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අධිිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.