Sunday, May 19, 2024

General line - 0115112241

මෝදිගේ දෙවන පදවි ප‍්‍රාප්තිය

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවි ප‍්‍රාප්ති උත්සවය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා වන විශේෂ උත්සවය නවදිල්ලි නුවර පිහිටි එරට ජනාධිපති නිල නිවස වන රාෂ්ට‍්‍රපති භවන්හිදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම්.

එහිදී ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඉදිරියේ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, විදෙස් රාජ්‍ය නායකයින් මෙන්ම සුපිරි බොලිවුඞ් තරු ඇතුළු 8,000ක් පමණ පිරිසක් මෙම රාජ්‍ය උත්සවය සඳහා සහභාගීවීමට නියමිතයි. එසේම ඉකුත් වසරේ පැවැති දේශපාලන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හමුවේ ජිවිතක්ෂයට පත් භාරතීය ජනතා පක්ෂයේ කි‍්‍රයාකාරිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ටද මෙම උත්සවයට ආරාධනා කර තිබීම විශේෂත්වයක්. 

මේ අතර සිය දෙවන පදවි ප‍්‍රාප්තියෙන් පසු පළමු විදෙස් සංචාරය ලෙස මාලදිවයිනට පැමිණීමට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

ඇතැම් ඉන්දීය මාධ්‍ය පවසන්නේ ජූනි මස 07වනදා අග‍්‍රාමාත්‍යවරයා මාලදිවයිනට පැමිණීමට නියමිත බවයි. එදින ඔහු මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීමට ද සැලසුම් කර ඇතැයි සඳහන්.

ඉන්අනතුරුව ජූනි 08වනදා අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංචාරයක් සඳහා ශ‍්‍රි ලංකාවට ද පැමිණීමට නියමිත බවයි එම වාර්තා වැඩිදුරටත් පැවසුවේ.