Friday, May 3, 2024

General line - 0115112241

කාත්තන්කුඩියේ OIC ගැන විමර්ශනයක් : පොලිසියේ 20 කට ස්ථාන මාරුවීම් ලබාදීලා

වසන්ත චන්ද්‍රපාල




මඩකලපුව කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ සේවය කරන ලද පොලිස් නිළධාරින් 20 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථානවලට මාරැ කර යැවිමට නැගෙනහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම නිළධාරින් ඊයේ සිට වෙනත් පොලිස් ස්ථානවලට අනුයක්ත කර තිබෙන බව සදහන්.

බුද්ධි අංශ නිළධාරින්ගේ වාර්තා පදනම් කරගෙන මෙම ස්ථාන මාරැ සිදුකල බවත් දැනට කාත්තක්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබු බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියේ.

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා බුද්ධි අංශ වාර්තා පදනම් කර ගනිමින් පොලිස් නිළධාරින් 20 දෙනෙක් මාරැ කලත් එය අසාධාරණ මාරැ කිරිමක් බව ස්ථාන මාරැව ලැබු සමහර පොලිස් නිළධාරින් සදහන් කර සිටිනවා. මෙම පොලිස් ස්ථානයට මෑත කාලයේදී අනියුක්ත කරනු ලැබ කිසිම චෝදනාවක් නැති නිළධාරින් පවා මාරැ කර ඇති බව ඔවුන් චෝදනා කර සිටියි.

විවිධ චෝදනා එල්ලවි ඇති නිළධාරින් සිටියදි පොලීසියේ උසස් නිළධාරින් විසින් ඇග බේරා ගැනිම සදහා මෙම ස්ථාන මාරැවිම් සිදුකර ඇති බවයි ඔවුන් මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේ.

තමන් කිසිම හේතුවක් නැතිව ස්ථාන මාරැ කිරිම පිලිබදව සාධාරණ පරීක්ණයක් කරන ලෙසට වැඩ බලන පොලිස්පතිතුමාගෙන් තමන් ඉල්ලීමක් කිරිමටද බලාපොරොත්තු වන බව ස්ථාන මාරැව ලැබු පොලිස් නිළදාරියෙක් ප්‍රකාශ කර ඇත.

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ සමහර නිළධාරින් විසින් අයුතු ලෙසට අල්ලස් ලබා ගන්නා බව එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කර සිටියි. කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාටත් විවිධ චෝදනා එල්ල වි ඇති අතර සහාරන් පිලිබදව කරන පරීක්ෂණවලට මෙම ස්ථානාධිපතිවරයා සිටිමෙන් විශාල බාධාවක් ඇතිවි තිබෙන බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම මේ පිලිබදව නැගෙනහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකරට ලිඛිතව දැනුම් දිමට මඩකලපුව ශාසනාරක්ෂක බල මණ්ඩලයමගින් කටයුතු කරන බව උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා.