Sunday, May 12, 2024

General line - 0115112241

කොළඹ බන්ධනාගාර රැඳවියන් පිරිසක් වටරැකට ගෙන යාමේ සුදානමක් 

නිශාන් ද සිල්වා




කොළඹ බන්ධනාගාරයන්හි රැදවූවන් පිරිසක් වටරැක බන්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාරවල මේ වනවිට රැදවූවන් සීමාව ඉක්මවා රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එම බන්ධනාගාරවල එක් බන්ධනාගාරයක රදවා තැබීමට ඉඩපහසුකම් ඇත්තේ රැදවූවන් 800 කට පමණ වුවද මේ වනවිට එක් බන්ධනාගාරයක රැදවුවන් 1800 කට වැඩි සංඛ්‍යාවක් රදවා සිටිනවා. 

ඊට විකල්පයක් ලෙස වටරැක බන්ධනාගාරයේ අක්කර 38 ක භූමි භාගයක නව ගොඩනැගිලි ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. කොළඹ බන්ධනාගාරවල මුළු භූමි ප‍්‍රමාණයද අක්කර 38 ක් වනවා. මේ වනවිට වටරැක බන්ධනාගාරයේ රදවා සිටින රැදවූවන් ගණන 180 ක් පමණ වන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

ඒ අනුව එම බන්ධනාගාරයේ අක්කර 38 ක භූමියේ ප‍්‍රථමයෙන් එක් ගොඩනැගිල්ලක් සාදා කොළඹ බන්ධනාගාරවල රැදවුවන් 800 ක් පමණ යෙදවීමටයි තීරණය වී ඇත්තේ. අවිස්සාවේල්ල, හෝමාගම, කඩුවෙල සහ ගංගොඩවිල අධිකරණවල නඩු පවතින රැදවුවන් එහි රදවා තැබීමට නියමිතයි. ඉදිකිරීම් කටයුතු සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 1,186 වන අතර ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලබා ගන්නා බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

එම ඉදිකිරීම් වසර දෙකක් තුළ අවසන් කර කොළඹ බන්ධනාගාරවල රදවා සිටින රැදවුවන් පිරිසක් වටරැක බන්ධනාගාරයේ රදවා තැබීමට නියමිතයි. දෙවන අදියර යටතේ තවත් ගොඩනැගිලි කිහිපයක් සාදා ඉතිරි රැදවුවන්ද වටරැක බන්ධනාගාරයට රැගෙන යාමට අදහස් කරන බව බන්ධනාගාර ආරංචි පැවසුවා.