Sunday, May 19, 2024

General line - 0115112241

ඉරාන ගුවන් සීමාවේ ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දියාවෙන් තීරණයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරානයට අයත් මතභේදාත්මක ගුවන් සීමාව තුළ සිදු කෙරෙන ගුවන් ගමන් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, අමෙරිකාව සහ ඉරානය අතර වර්ධනය වී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේයි.

ඉරාන ගුවන් කලාපයට ඉහළින් පියාසර නොකිරීමට අමෙරිකානු ගුවන් සමාගම් ගෙන ඇති තීරණය පිළිබඳ සලකා බලා මෙම තීරණයට එළඹි බවයි ඉන්දීය සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය පවසන්නේ. ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකීමක් ඇති බැවින් මෙලෙස ඉරානයේ මතභේදාත්මක ගුවන් සීමාව හරහා පියාසර නොකරන බවද ඉන්දීය සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය වැඩිදුරටත් අවධාරණය කළා. 

අමෙරිකාව හා ඉරානය අතර මේවනවිත් උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වයට හේතු වුණේ සිය ගුවන් කලාපයට ඉහළින් පියාසර කළ අමෙරිකාවේ නියමුවන් රහිත ගුවන් යානයක් බිම හෙලීමට ඉරානය පියවර ගැනීමයි. මෙම සිදුවීමෙන් පසුව ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළත් පසුව එම තීරණය වෙනස් කර තිබුණා.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා අද යළිත් ප්‍රකාශ කළේ ඉරානය සමග යුද්ධයකට එළඹීමට තමන්ට අවශ්‍ය නොමැති බවයි. එහෙත් යම් හෙයකින් දෙරට අතර ගැටුමක් ඇතිවුවහොත්, ඉරානය අතුගා දමන බවද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.