Friday, May 3, 2024

General line - 0115112241

දයාසිරි ගෙන්වන්න හේතුව ඔහු කළ ප්‍රකාශයක් - ඔහු අනිවාර්යයෙන් පැමිණිය යුතු බව විශේෂ කාරක සභාවේ සභාපති කියයි

කසුන් කැලුම්/දිල්ශාන් තුෂාර




පාස්කු ප‍්‍රහාරය ගැන සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරට යළි දැනුම් දීමට කටයුතු කරන බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.

යම් මන්තී‍්‍රවරයෙකු කාරක සභාව හමුවට කැදවූ විට ඔහු අනිවාර්යයෙන් ඊට පෙනී සිටිය යුතු බවයි නියෝජ්‍ය කථානායකවරයා සදහන් කළේ. දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා එම කාරක සභාව හමුවට කැදවීමට තීරණය කළේ මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් දන්නා බවට ඔහු මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සදහන් කළා.

මෙම කාරක සභාව හමුවේ ඉකුත් සිකුරාදා පෙනී සිටින ලෙස දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාට දන්වා තිබුණා.  තමන් එම කාරක සභාව හමුවේ පෙනී නොසිටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදුකළා.

යළි දැනුම් දෙන දිනයක මෙම කාරක සභාව හමුවේ ඔහු පෙනී නොසිටිය හොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 10 වනදා පස්වරු 2.00ට යළි රැස් වනවා. එදිනට කැදවන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සදහන් කළේ.