Sunday, May 19, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපති උතුරු කොරියාවට (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ




දකුණු කොරියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (30) යුධ මුක්ත කලාපය ඔස්සේ උතුරු කොරියාවට පා තැබුවා. ඒ ලෝක ඉතිහාසයට නව පරිච්ජේදයක් සටහන් කරමින් වීමද විශේෂත්වයක්.

ඒ ධුරයේ සිටියදී පළමු වරට උතුරු කොරියාවට පා තැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වීමේ භාග්‍ය හිමිකර ගැනීමට ජනාධිපති  ට්‍රම්ප් සමත් විය. දැඩි ආරක්ෂාවක් සහිත උතුරු සහ දකුණු කොරියානු යුධ මුක්ත කලාපයේදී පැවති අමෙරිකානු ජනාධිපතිවරයාගේ සහ උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ හමුවීම සිදුවූ බවයි විදෙස් මාධ්‍යවාර්තා කර සිටියා.

උතුරු කොරියානු නායකයා ඉතා උණුසුම් ආකාරයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාව මෙහිදී පිළිගනු ලැබූ අතර ඔවුන් දෙදෙනා අතට අතදී මාධ්‍ය හමුවේ ජයාරූපවලට පෙනී සිටීමෙන් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ජා සඳහා එක්වූවා.

එම සාකච්ජා වලදී දැනට අතරමග නතර කර තිබෙන න්‍යෂ්ටික සාකච්ජා නැවත ඇරඹීම සඳහා වන නව කණ්ඩායම් පත් කිරීමට නායකයින් දෙපලගේ අවධානය යොමුවූ බවයි මෙහිදී වාර්තා වන්නේ. 

ඉකුත් වසරේ සිංගප්පුරුවේදී සහ මේ වසරේ දී වියට්නාමයේදී පැවති සාකච්ජා වලින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර තෙවන මුහුණට මුහුණලා පැවැත්වෙන හමුව වසරක් වැනි කෙටි කාලයක් තුලදී පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් සුභවාදී අදහස් පළකරයි.

ඒ මිට පෙර අමෙරිකාවේ රාජ්‍ය නායකයින් උතුරු කොරියාවත් සමග ගනුදෙනු සිදුකළ ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදුකරනු ලබන සාකච්ජා හේතුවෙන්ය.

"මෙය විශාල අවස්ථාවක්..මෙවැනි ස්ථානයකදී ඔබව මට මුණ ගැසීමට හැකිවෙතැයි මම කිසිදා සිතුවේ නැහැ. මෙය අපේ රටවල් දෙකට පමණක් නොවේ සමස්ත ලෝකයටම අමතක කල නොහැකි මොහොතක්" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා සමග යුධ මුක්ත කලාපයේදී හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.