Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකාවේ අවසන් තරගයේ බලාපොරොත්තු බිඳ දමයි

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසාලන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සමග පැවැති තරගය කඩුළු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (06) සමත්වුණා. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය අවසන් තරගය ශ‍්‍රී ලංකාවට නිමා කිරීමට සිදුවූයේ පරාජයකින්.

ලීඞ්ස්හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 264ක් රැස් කළා. සිය එක්දින දිවියේ 03වන ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 113ක්. 

ලකුණු 265 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල මෙම තරගයේදී ශතක වාර්තා කිරීම කැපී පෙනුණා. මෙවර තරගාවලියේ සිය පස්වන ශතකය වාර්තා කළ රෝහිත් ශර්මා ලකුණු 103ක් රැුස කිරීමට සමත්වුණා. ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාව ද මෙයයි. ඔහු විසින් මෙලෙස බිඳ දැමුවේ 2015 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශතක 04ක් වාර්තා කරමින් කුමාර් සංගක්කාර පිහිටුවා තිබූ වාර්තාවයි. 

ඊයේ තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේශ් රාහුල් ද ලකුණු 111ක් රැස් කළා. ඉන්දීය කණ්ඩායම සිය ජයග‍්‍රහණය වාර්තා කළේ 44 වන පන්දුවාරයේදීයි. බිඳවැටුණු කඩුළු සංඛ්‍යාව 03ක්. පන්දු යැවීමේදී ලසිත් මාලිංග, කසුන් රාජිත සහ ඉසුරු උදාන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

ලසිත් මාලිංග එක්දින ලෝක කුසලාන පිටියේ සහභාගී වූ අවසන් තරගය ද මෙයයි. මාලිංග සිය එක්දින ලෝක කුසලාන කි‍්‍රකට් දිවිය නිම කළේ එම තරගාවලි ඉතිහාසයේ 03වන වැඩිම කඩුළු ලාභියා ලෙස ද වාර්තා අතරට එක්වෙමින්.

ලෝක කුසලාන තරග 29කට කී‍්‍රඩා කළ ලසිත් මාලිංග බිඳ හෙලා ඇති කඩුළු සංඛ්‍යාව 56ක්. එක්දින ඉතිහාසයේ සහ ලෝක කුසලාන තරග ඉතිහාසයේ පන්දු 04කදී කඩුළු 04ක් දවා ගත් එකම පන්දු යවන්නා වන්නේද ලසිත් මාලිංගයි. ඔහු ලෝක කුසලාන තරගාවලිහිදී කඩුළු ති‍්‍රත්ව දෙකක් වාර්තා කර ඇති අතර එම වාර්තාව බිඳ හෙලීමට මෙතෙක් කිසිඳු පන්දු යවන්නෙකු සමත්ව නැහැ. 

මේ අතර මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස දකුණු අපි‍්‍රකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගය මැන්චෙස්ටර්හිදී පැවැත්වුණා. එම තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කළේ දකුණු අපි‍්‍රකාවයි.

මෙම පරාජයත් සමග ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටීමට සිදුවුණා. ඒ අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිවුණේ ඉන්දීය කණ්ඩායමටයි. මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ලබන 09 වැනිදා පැවැත්වෙනවා. දෙවන අවසන් පූර්ව තරගය ලබන 11 වැනිදා පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතරයි.